Tuesday 27 June 2023

පිරිතේ අසිරිය..

පිරිතේ අසිරිය.. 


පිප්ඵලී ගුහාව අවට නිහඬ ය… නිසසල ය… මුනිවරුන්ගේ සමවතින් වන අරණ ද දැහැන්ගත වී ඇති සෙයකි. කෙලෙස් කහටින් මිදී ගත් සිත් ඇති වුව ද කායික පීඩාවන්ගෙන් යුතු ව බොහෝ ගිලන් වූ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමක් ඒ ගුහාවේ වැඩ වාසය කෙරෙති. ප‍්‍රිය උපදවන්නා වූ තේජස්වී පෙනුමකින් යුතු ඒ නික්ලේෂී මුනිවරයාණන් වහන්සේගේ කායික දුක්ඛ පීඩා මහා කරුණා නෙතකට සම්මුඛ වී ඇත.

රුවින් ද ගුණින් ද නැණින් ද තිලොවට ම අගේ‍්‍රෂ්වර වූ ඒ කරුණා නෙතේ හිමිකරුවාණන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනයේ සිට පා සිවුරු ගෙන මේ සවස් කල වැඩම කරන්නේ පිප්ඵලී ගුහාව වෙතට ය. පනවන ලද ආසනයෙහි වැඩ හුන් ඒ මහා කාරුණිකයාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුජාත පුතණුවන් විචාරන සේක.

‘‘පින්වත් කස්සප, ඔබට ඉවසිය හැකි ද? පහසුවෙන් සිටින්නට හැකි ද? කයේ දුක්වේදනා අඩු වීමක් තිබේ ද? වැඩි වීමක් නො වේ ද? අඩු වීමක් ම දකින්නට ලැබේ ද? වැඩි වීමක් නො පෙනේ ද?”
බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ මහත් ගෞරවයෙන් යුතු ව පිළිතුරු වදාරති.

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ අසනීපය ඉවසන්ට නො හැකි ය. පහසුවෙන් සිටින්නට නො හැකි ය. මාගේ කායික දුක් වේදනා ඉතා බලවත් ය. වැඩි වීමක් ම ඇත්තේ ය. අඩු වීමක් නැත්තේ ම ය. දකින්ට ලැබෙන්නේ වැඩි වීමක් ම ය. අඩු වීමක් දකින්ට නො ලැබෙන්නේ ය.”

ඒ බව ඇසූ තැන්හි පටන් මහා කරුණා හදැති සම්බුදු මුව මඬලින් සීතල ජල දහරාවක් වන් ව ගලා හැලෙන්නේ ලොව සියලූ දුක් පීඩා සහමුලින් ම දුරු කළා වූ අසිරිමත් සම්බුදු අවබෝධය පිළිබඳ විස්මිත වූ, සුන්දර වූ දෙසුමකි.

‘‘සත්තිමේ කස්සප බොජ්ඣංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්’ති.”

‘‘පින්වත් කස්සප, මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දා වූ, ප‍්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් දියුණු කරන ලද්දා වූ, විශේෂ ඤණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නා වූ මේ බොජ්ඣංග ධර්මයන් හතකි…..”


                                                                






ඒ සත්‍යානුභාවයෙන් සුව විය සියල් රෝග ,
දුක් 
මෙසේ සප්ත බොජ්ඣංග නම් වූ සප්ත මාණික්‍යයන් ගැන තථාගතයන් වහන්සේ දේශනා කොට අවසන් කෙරෙනවාත් සමඟ ම ඒ දෙසුම මැනවින් අසා හුන් මහා කස්සපයන් වහන්සේ කායික රෝග පීඩාවන්ගෙන් සුවපත් ව නැගී සිටියහ. ලොව පරම සත්‍යය අවබෝධ කළ තථාගතයන් වහන්සේ ඒ අවබෝධයෙන් දේශනා කරන්නට යෙදුණු සත්‍යයේ ආනුභාවයෙන් ම එසේ සැණෙකින් සියලූ දුක් පීඩාවන් සමනයට පත් විය.

මේ ආකාරයෙන් ම මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේත්, මහා චුන්ද තෙරුන් වහන්සේත් ගිලන් බවින් උග‍්‍ර වූ පීඩාවන් විඳිමින් සිටිය දී තථාගත යන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ සප්ත බොජ්ඣංග ධර්මයන් ශ‍්‍රවණය කිරීමෙ න් සුවපත් භාවයට පත් වූහ. වරෙක තථාගතයන් වහන්සේ ගිලන් ව වැඩ සිටිය දී ද පින්වත් ස්වාමීන් වහන්සේලා සප්ත බොජ්ඣංග ධර්මයන් සජ්ඣායනා කරන්නට යෙදුණ අතර එකල්හී තථාගතයන් වහන්සේ ගිලන් බවින් නැගී සිටි සේක.

ගිරිමානන්ද රහතන් වහන්සේ ගිලන් ව සිටිය දී ආනන්ද තෙරුන් වහන්සේ විසින් දස සඤ්ඤා පිළිබඳ ව තථාගත භාෂිතය සජ්ඣායනා කරන්නට යෙදුණ සේක. දේශනාව අවසන ගිරිමානන්ද රහතන් වහන්සේ සුවපත් භාවයට පත් වූහ.

ඒ සත්‍යානුභාවයෙන් සහමුලින් දුරුවී ය තුන්බිය

ලිච්ජවී රාජධානිය පිහිටා තිබුණේ මගධ හා කෝසල රාජ්‍යයන් අතර ය. ඔවුනගේ අග නගරය වූයේ විශාලාව යි. සශ‍්‍රීකවත් ව තිබූ ලිච්ඡුවී රාජධානිය පුරා මහා දුර්භික්ෂයක් පැතිර යන්නට විණි. ආහාරපාන බොහෝ හිඟ වූ අතර ශීඝ‍්‍රයෙන් බෝ වන රෝග ද පැතිරෙන්නට පටන් ගති. රෝග පීඩාවන්ගෙන් මිනිසුන් දිගින් දිගට ම මරණයට පත් වන අතරේ ඒ දුක්ඛිත ඉරණම ඇස ගැසුනු අමනුෂ්‍යයෝ විශාලාවේ රොද බඳින්නට වූහ. දුර්භික්ෂ, රෝග හා අමනුෂ්‍ය යන තුන්බියෙන් ඇළලී ගත් විශාලාව සොහොන් පිටියක ස්වරූපය ඉසිලී ය.

යාගහෝම, පුදපූජා, යාදිනි කිසිවකින් තුන්බිය පළවා හැරුණේ නැත. අවසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රාජධානියට වැඩම කරවා ගත යුතු යැයි තීරණය කෙරිණි. පිළිවෙත් සරු සඟ පිරිවර සමඟින් තථාගතයන් වහන්සේ ලිච්ඡවී දේශය බලා වැඩම කිරීම අරඹනවාත් සමඟ ම ඒ තාක් පැවති දුර්භික්ෂය නිමා කරවමින් ලිච්ඡවී දේශයට මහ වැසි ඇද හැළෙන්නට පටන් ගති. මළකුණු ද සහිත වූ සියලූ අපද්‍රව්‍ය මහ මුහුදට ගෙන යනු පිණිස ජල දහරාවෝ අහසින් වැගිරෙන්නට පටන් ගති. බුදු පාමොක් මහා සඟ රුවන නගරයට සමීප වත් ම මිනිසුන්ට අරක් ගෙන සිටි නීච අමනුෂ්‍යයෝ වහා පලා යන්නට වූහ. මළ කඳන් සේදී ගසාගෙන ගොස් පිරිසිදු වූ නගරයේ වැසියන් අමනුෂ්‍ය දෝෂ ද නැසී යාම හේතුවෙන් සැණෙන් සුවපත් වන්නට වූහ.

පැන් පාත‍්‍රයක් ගෙන්වා ගත් තථාගතයන් වහන්සේ රතන සූත‍්‍ර දේශනාව වදාළේ ඉන් පසුව ය. ආනන්ද තෙරුන් වහන්සේ රතන සූත‍්‍රය ම සජ්ඣායනා කරමින් ලිච්ඡවී ජනපදය පුරා පැන් ඉසිමින් වැඩම කළ සේක. ඉනික්බිති තුන්බිය පහව ගිය ලිච්ඡුවී රාජධානය පෙර වූ සශී‍්‍රකත්වයෙන් ම යුතු ව ගොඩ නැගුණි.

ඒ සත්‍යානුභාවයෙන් පලවා හැරිනි හැම බිය

බුද්ධ කාලීන ව වැඩ විසූ ස්වාමීන් වහන්සේලා සමූහයක් තථාගතයන් වහන්සේගේ අවවාද ගෙන හිමාල පර්වත ප‍්‍රදේශයේ වූ රමණීය වන අරණක වස් සමාදන් වූහ. අසල්වැසි ගම්මානයන්හී මිනිසුන් උන්වහන්සේලාගේ වැඩමවීම කෙරෙහි මහත් සතුටට පත්ව සංඝෝපස්ථානයේ නිරත වූහ. සීල ගුණෝපේත වූ ඒ ස්වමීන් වහන්සේලාගේ සිල් සුවඳ දසත පැතිරෙන කල්හි එම වන අරණෙහි විමාන සාදාගෙන හුන් වෘක්ෂ දේවතාවුන්ට තව දුරටත් උන්වහන්සේලාට ඉහළින් වාසය කරන්නට නො හැකි විය. විමාන අහිමි වීම නිසා කම්පාවට පත් වූ එම දෙවිවරුන් සිදු කළේ ස්වාමීන් වහන්සේලා ව බියපත් කිරීම ය. ඔවුහු නොයෙකුත් බියකරු ශබ්ද නගන්නට වූහ. අද්භූත රූප මවන්නට වූහ. අප‍්‍රසන්න ගන්ධයන් පතුරුවන්නට වූහ. වස් කාලය අවසන් වන තුරු ම ස්වාමීන් වහන්සේලාට මෙම අකටයුතුකම් මධ්‍යයේ වාසය කරන්නට සිදු විය.

වස් පවාරණය කොට යළි වඩින්නා වූ ස්වාමීන් වහන්සේලාගේ පෙර තිබූ ප‍්‍රියමනාප ස්වරූපය හාත්පසින් ම වෙනස් වී තිබුණි. අමනුෂ්‍ය බිය නිසාවෙන් මේ සියල්ල සිදු වූ බව උන්වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. එවිට තථාගතයන් වහන්සේ සිදු වූ දෙය පහදා දී කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කළ සේක. යළි එම වනයට ම ගොස් මෙම සුතුර සජ්ඣායනා කොට වැඩ වාසය කරන්න යැයි ද අනු දැන වදාළ සේක.

ඒ අවවාදය පිළිගත් තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා යළි එම වනයට වැඩම කොට කරණීය මෙත්ත සූත‍්‍රය සජ්ඣායනා කොට මෙත් සිත පතුරුවන්නට වූහ. ක‍්‍රමයෙන් දෙවිවරුන්ගේ අමනාපයන් බැහැර වූ අතර අවසන උන්වහන්සේලාට සීලාදී ගුණ ධර්මයන් සම්පූර්ණ කර ගැනීම උදෙසා දෙවිවරුන් උවටැන් කරන්නට ද පටන් ගත්හ. බුද්ධ භාෂිතයේ ගැබ් වූ සත්‍යයේ අනුහසින් ඒ සියල්ලෝ දමනය වූහ.

අසිරිමත් ය ඒ සත්‍යානුභාවය…

තථාගතයන් වහන්සේ වනාහි ලොවට පරිපූර්ණ වූ සත්‍යය, පරම වූ සත්‍යය හෙළි කළ සත්‍යවාදියාණන් වහන්සේ ය. සම්බුද්ධ දේශනාවන් තුළ ඇත්තේ ලොව කිසිවකට දෙවැනි නො වූ, අග‍්‍ර වූ සත්‍යය ම ය. අවිඳු අඳුර දුරු වී ප‍්‍රඥලෝකය පහළ වූයේ ඒ සත්‍යයේ ආනුභාවයෙනි.

බියක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වූ කල්හි බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන්නට යැයි කියා තථාගතයන් වහන්සේ වදාළේ එකල්හී සියලූ බිය ඒකාන්තයෙන් ම දුරු වී යන නිසාවෙනි. සනාතන, සදාතන සත්‍යය කැටි වූ බුද්ධ භාෂිතයන් සජ්ඣායනා කිරීමෙන්, පරිත‍්‍රාණ දේශනා පැවැත්වීමෙන් එදා පටන් අද දක්වා ම සිව්වනක් බුද්ධ ශ‍්‍රාවකයන් ඒ සත්‍යානුභාවයේ රැකවරණය සලසා ගනිති.

බුද්ධ ශාසනයේ ඉලක්කය වන්නේ සියලූ දුකින් නිදහස් වීම ය. ඉපදීම, ලෙඩ වීම, ජරාවට පත්වීම, මරණය, ප‍්‍රිය දෙයින් වෙන් වීම, අපි‍්‍රය දේ හා එක් වීම ඒකාන්ත දුක් ය. සංෂිප්තයෙන් කියන කල්හි පංච උපාදානස්කන්ධය ම දුකකි. ඒ සියලූ දුකින් නිදහස් වීමේ ඒකායන මාර්ගය ශ්‍රී සද්ධර්මයෙන් දේශිත ය.

ඒ ධර්මයෙන් සියලූ දුක් නැසිය හැකි බව අදහාගෙන, දරාගෙන සිටින්නෙකුට ධර්මය සිහි කළ පමණින්, ශ‍්‍රවණය කළ පමණින් ලෙඩ දුක්, බිය, තැති ගැනීම් සහමුලින් දුරු ව යෑම ඒකාන්තයෙන් ම සිදු වන්නකි. මන්ද ඒ තැනැත්තා සිහි කරන්නේ සියලූ දුක් නසාලන දහමක් වන බැවිනි. ඈත අතීතයේ පටන් ලෙඩ දුක්වල දීත්, බිය තැති ගැනීම්වල දීත්, සුබ කාර්යයන් ඇරඹීමේ දීත් පිරිත් සජ්ඣායනා කොට, පිරිත් පැන් වළඳූ, පිරිත් පැන් ඉස, පිරිත් නූල් බැඳ සෙතක්, ශාන්තියක් ලබා ගැනීම සිදු කෙරුණේ එනිසාවෙනි.

පිරිත් ස්වරයෙන් විහිදෙන ධර්මයේ අනුහස

පිරිත් සජ්ඣායනාවකින් සිදු කෙරෙන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් හඬ නඟා පැවසීම ය. ඒ දේශනාවන් තුළ අන්තර්ගත වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවනේ අනන්ත අපරිමිත ගුණ සමුදාය ය, ධර්ම පර්යායන් තුළ කියැවුණු චතුරාර්ය සත්‍යය ධර්මය ය, සප්ත බොජ්ඣංග ධර්මයන් ය, නිවන් මඟ දියුණු කරන්නා වූ ශ‍්‍රාවකයන් භාවනාවන් ලෙසින් වැඩිය යුතු වූ සඤ්ඤාවන් ය…. පිරිත් සජ්ඣායනාවක් සිදු කිරීමෙන් මෙන් ම එය ශ‍්‍රවණය කිරීමෙන් ද මහත් වූ ආනිසංස උපදවා ගත හැක්කේ එකී අන්තර්ගතයේ පවත්නා වූ විස්මිත, ආශ්චර්යවත්, අද්භූත ගුණ ධර්මයන් නිසා ය. සත්‍යය ප‍්‍රකාශිත ඒ ධර්මය ඇසූ පමණින් සියලූ රෝග පීඩා, බිය තැති ගැනීම් සැණෙකින් පහව යන්නේ ද එනිසා ම ය.

ඒ සෑම වචනයක් පාසා ම කියැවෙන්නේ සර්වඥයන් වහන්සේගේ අවබෝධය යි. ඒ අවබෝධය අදහා ගැනීම ධර්මය තුළ හැඳින්වෙන්නේ ශ‍්‍රද්ධාව කියා ය. පිරිත් සජ්ඣායනාවකින් නිසි ඵල නෙළා ගන්නට උපකාරී වන්නේ ද මේ ශ‍්‍රද්ධාව ම ය.

බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප‍්‍රකට වන ධර්මය සියලූ දුකින් නිදහස් වීම පිණිස ඒකායන මාර්ගය යි යන තියුණු විශ්වාසයෙන් යුතු වූ කවරෙකු හෝ වේවා පිරිත් සජ්ඣායනාවකින් අත්විඳින්නේ ද ඒ නිවන පිණිස උපකාරී වන්නා වූ සද්ධර්ම සංධ්වනිය යි.

සැබෑ බසින් මෙම සෙත සැලසේවා!

නිසැක ලෙස තිසරණයෙහි පිහිටා සිටින ශ‍්‍රාවකයෙකුට රෝග පීඩාවක් වැළඳුනු විට, බිය තැති ගැනීමක් ඇති වූ විට සැණෙන් සිහිවන්නේ ත‍්‍රිවිධ රත්නය යි. ඒ අන් කිසිවක් නිසා නොව ලෙඩ දුක්, බිය තැති ගැනීම්වලින් පමණක් නොව සියලූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අත් මිදෙන්නට පිහිට වන්නේ තෙරුවන විෂයෙහි පවත්නා අචල ප‍්‍රසාදය බව ඔවුහු දරාගෙන සිටින නිසාවෙනි.

එවැන්නෙකු උපද්‍රවයක දී බෙහෙත් වට්ටෝරු මත පමණක් යැපෙන්නේ නැත, යන්තර මන්තර ගුරුකම් සරණ යන්නේ ද නැත, කේන්දරය හොයන්නේ ද නැත, කට්ටඩියන් සොයා දුවන්නේ ද නැත, බලි තොවිල් නටන්නේ ද නැත, ඒ වෙනුවට සම්බුදු මුව මඬලින් ගලා ආ චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත සම්බුද්ධ භාෂිතයන් සිහි කරන්නේ ය. ඒ මන්ද? ඒ කිසිවකටවත් සම කළ නො හැක්කා වූ සත්‍යානුභාවය පවත්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ප‍්‍රකාශිත ධර්මයේ පමණක් බව ඔවුන් දන්නා නිසා ය.

ඉතා හොඳින් සිත පිහිටුවාගෙන ඒ ධර්මය සජ්ඣායනා කරන්නේ නම්, ඒ ධර්මය ශ‍්‍රවණය කරන්නේ නම් පි‍්‍රයමනාප වූ කාම ගුණයන් කෙරෙහි සිත නො ඇලෙන්නේ ය, සිතෙහි තරහක් හට නො ගන්නේ ය, නිදිමතට පත් නො වන්නේ ය, සිත නො විසිරෙන්නේ ය, ඒ ආනුභාව සහිත පරම සත්‍යය ගැන සැකයක් ඇති නො වන්නේ ය. එනම්, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණයන් දුර්වල වන්නේ ය.

නීවරණයන් යටපත් වන විට, ප‍්‍රහාණය කෙරෙන විට සිතෙහි හට ගන්නේ නැවුම්, ප‍්‍රබෝධවත් ස්වභාවයකි, ප‍්‍රමුදිත බවකි. ඒ ප‍්‍රමුදිත සිතෙහි සත්‍යය ප‍්‍රකාශිත ධර්මය සජ්ඣායනයෙන් ද ශ‍්‍රවණයෙන් ද ප‍්‍රීතිය ජනිත වේ. මානසික ප‍්‍රීතිය කය සැහැල්ලූ කරවයි. එනම් පස්සද්ධිය ඇති වේ. එය සමාධියක් දක්වා දියුණු කරන්නට සමර්ථ වූ විට ධර්මාවබෝධය පිණිස සිත නැමී යයි. සියලූ දුක් ක්ෂය කරනා ධර්මයක් සජ්ඣායනා කිරීමේ ද ශ‍්‍රවණය කිරීමේ ද අග‍්‍ර ඵලය වන සියලූ දුකින් නිදහස් වීම සාක්ෂාත් කළ හැක්කේ ඒ ආකාරයෙනි. තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ දේශනා අවසානයේ ශ‍්‍රාවකයන් වහන්සේලා සියලූ දුක් නසා අරහත්වයට පත් වූයේ ඒ ආකාරයෙනි.

පිරිත් සජ්ඣායනාවක් යනු සැදී පැහැදී කළ යුත්තකි. උතුම් ධර්මාවබෝධය ඉලක්ක කරගෙන සිදු කළ යුත්තකි. ලොව නොයෙක් ඔසු තිබුණ ද සියලූ ලෙඩ සුව කරනා දහම් ඔසුව හා සම ඔසුවක් නැත්තේ ය. ඒ ඔසුව වළඳා කෙලෙස් ලෙඩ හැම සුව කරගෙන, දිරුම් වැනසුම් නැති පිරිනිවනට පත්වන්නට සම්බුදු ශ‍්‍රාවකයන් අදිටන් කරගත යුතු ය. පිරිත් සජ්ඣායනාවක් යනු ඒ වෙනුවෙන් මහඟු මංපෙත් විවර කරනා උතුම් සද්ධර්ම දායාදයකි.
සියල්ලෝ ම මෙලොව, පරලොව හිතසුව පිණිස පවතින, යහපත සලසන, නිර්වාණාවබෝධයට උපකාර වන පිරිත් ධර්මයන් මැනැවින් දෙසත්වා! මැනැවින් අසත්වා!

ඒ අසිරිමත් සම්බුදු දෙසුම් සියලූ දුක්බිය දුරලන්නේ ම ය…

ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!!!

බොදු පිරිත, පිරිතේ විකාශනය සහ සමාජ සබැඳියාව
පැපිලියාන ශ්‍රී සුනේත‍්‍රාදේවී විහාරවාසී, අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, ප‍්‍රජා පාදක විශෝධන ඒකකයේ ශාස්ත‍්‍රපති 
පූජ්‍ය උඩුබද්දාවේ අස්සජි ස්වාමින් වහන්සේ

පිරිත් සජ්ඣායනාව හා සබැඳි ඉතිහාසය ප‍්‍රාග් බෞද්ධ යුගයට ම දිව යන්නකි. ජාතක කථා පාළියෙන් හෙළි වන පරිදි පිරිත් හා සබැඳි පිරිත් නූල් ආදිය ආරක්ෂාව පිණිස භාවිත කරනු ලැබ ඇත. බුද්ධ කාලීන ව සෙත් ශාන්තියක් ලෙස, මනා ව සංවිධානය කරන ලද පිරිත් දේශනාවක් පැවැත් වූ බව හෙළි වන්නේ විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ ය.

ලක්දිව පිරිත හා සම්බන්ධ පළමු සිදුවීම වාර්තා වන්නේ විජය කුමරු ඇතුළු ආර්යයන් මෙහි ගොඩබට අවස්ථාවේ ය. සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මතු බුද්ධ ශාසනය පිහිටන ලක්දිවට ගොඩබට ඒ ආර්යයන් හට ආරක්ෂාව පිණිස සක් දෙවිඳුන් උපුල්වන් දෙවිඳුන් මෙහි එවූ බව වංශ කථාවල සඳහන් ය. තවුස් වෙස් ගෙන පැමිණි උපුල්වන් දෙවිඳු විජය කුමරු ඇතුළු පිරිසගේ අත්හි පිරිත් නූල් බැඳ, පිරිත් පැන් ඉස ආරක්ෂාව සලසා දී ඇත. එයින් පෙනී යන අනෙක් වැදගත් ම කරුණ නම් එලෙස මෙහි ආ පිරිස බෞද්ධයන් යන්න යි.

අනුරාධපුර ස්වර්ණමය රාජ්‍යය පාලන සමය වූ දුටුගැමුණු රජ සමයේ ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ ධාතු නිදානෝත්සවයේ දී ‘ධම්ම සජ්ඣායනාවක්’ පැවැත් වූ බව ද කියැවේ. එකල පිරිත් යන වචනය භාවිත නො වූවා විය හැකි ය. නැති නම් මෙකල තරම් පිරිත් සජ්ඣායනය ජනප‍්‍රිය, සුලභ දෙයක් නො වන්නට ඇත.

කෙසේ වුවත් I වන උපතිස්ස (කි‍්‍ර. ව. 362 – 409) රාජ්‍යය සමයේ පැමිණි දුර්භික්ෂ හා රෝග බියක් සමනය කරනු වස් විශාලා මහ නුවර අන්දමට ම රතන සූත‍්‍රය සජ්ඣායනය කර ඇත. බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් නිමවා, ඒ ප‍්‍රතිමාවේ දෑත් මත ශෛලමය පාත‍්‍රයක් තබා භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වීදි සංචාරය කරමින් පිරිත් පැන් ඉස තිබේ. ඉනික්බිති මහා වැසි ඇද හැළුණ බව මහාවංශයේ කියැවේ.

IV වන අග්බෝ (කි‍්‍ර. ව. 638 – 674) රාජ්‍ය සමයේ ද පිරිත් උත්සවයක් පැවැත්වූ බව සඳහන් ය. II වන සේන (ක‍්‍රි. ව. 851 – 885) රාජ්‍ය සමයේ ද දුර්භික්ෂයක් නිමාවට පත් කරනු පිණිස පිරිත් උත්සවයක් පැවැත්වූ බව මහාවංශ කතුවර මහානාම හිමියන් පෙන්වා දෙයි. බුද්ධ ප‍්‍රතිමාවක් වෙනුවට ආනන්ද තෙරුන් වහන්සේගේ ප‍්‍රතිමාවක් සහිත ව සිදු කළ ඒ පිරිත් උත්සවය I වන උපතිස්ස රාජ්‍ය සමයේ කළ පිරිත් උත්සවයට සමාන බව කියැවේ. ඒ රාජ්‍ය සමයේ දී ම රතන සුතුර රන්පත්හි ලියූ බව කියැවෙන අතර ඒ බව ඓතිහාසික තොරතුරුවලින් ද හෙළි වී ඇත.

ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පිරිත් උත්සවයක් පවත්වා ඇත්තේ V වන කාශ්‍යප (ක‍්‍රි. ව. 913 – 923) රාජ්‍ය සමයේ දී ය. එහි අරමුණ වී ඇත්තේ රෝ බිය දුක් පලවා හැරීමයි.

ලක්දිව පිරිත පිළිබඳ සඳහනක් මිහින්තලා සෙල්ලිපියෙහි ද දැක්වේ. එය VI මිහිඳු රජු විසින් කරවන ලද්දකි. ඒ සමයේ භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන් භාවිතයට ගත යුතු පිරිත් දේශනා කිහිපයක් පැවත ඇති අතර ඒ අතුරින් කරණීය මෙත්ත සූත‍්‍රයට සුවිශේෂී තත්ත්වයක් හිමි ව ඇත. මුල් කාලයට වඩා මෙකල පිරිත් ධර්මයන් ධර්මයේ හැසිරෙන පිරිසට බොහෝ සමීප ව තිබූ බව මෙයින් ගම්‍ය වෙයි.

වංශ කථා අනුව පෙනී යන්නේ පොළොන්නරු යුගය වන විට දියුණු චාරිත‍්‍ර විධි සහිත පිරිත් දේශනා සිදු කෙරුණු බව යි. සශී‍්‍රකවත් මහා පරාක‍්‍රමබාහු යුගයේ දී පිරිත් සජ්ඣායනාවන් වෙනුවෙන් ම පඤ්චසත්තක මන්දිර යනුවෙන් වෙන ම මණ්ඩපයක් තනවා ඇත. එහි දී පිරිත් පැන් ද පිරිත් නූල් ද බොදා දී ඇත. නිශ්ශංකමල්ල රජු කළ නිශ්ශංකලතා මණ්ඩපය ද පිරිත් සජ්ඣායනා පැවැත්වීම පිණිස කරවන ලද්දකි. පොළොන්නරු කතිකාවතට අනුව මහජන සහභාගීත්වය ඇතුව එකල නිතර පිරිත් සජ්ඣායනාවන් සිදු කෙරී ඇත.

දඹදෙණි කතිකාවතින් හෙළි කෙරෙන පරිද්දෙන් දඹදෙණි යුගයේ පිරිත ඉතා ජනප‍්‍රිය දේශනා ක‍්‍රමයක් ව පැවත ඇත. ඒ අනුව සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ දේශනාවන්ගේ සමාරම්භය දඹදෙණි යුගයේ සිදු වූ බව නිශ්චය කළ හැකි ය.

කුරුණෑගල යුගයට අයත් දළදා සිරිතේ දැක්වෙන අයුරට අභිනව රාජ්‍ය පාලකයකු රජ මාලිගයේ වාසය පිණිස පැමිණෙන විට මහා සංඝ රත්නය ලවා පිරිත් සජ්ඣායනා කරවාගෙන, පිරිත්පැන් ඉස්සවා ආරක්ෂාව ලබාගෙන ඇත. රාජ්‍යය පාලකයන් මෙසේ පිරිතේ සෙත් ශාන්තිය අපේක්ෂා කරන්නට ඇත්තේ ඒ වනවිට පිරිත බොහෝ දුරට ජනපි‍්‍රය පූජා චාරිත‍්‍රයක් බවට පත්ව තිබූ නිසා විය යුතු ය. දළදා චාරිත‍්‍රවල දී පවා එකල පිරිත් භාවිත කර ඇත.

කෝට්ටේ පැරකුම්බා සමයේ කළ පැපිලියානේ සෙල්ලිපියේ ද පිරිත් උත්සවයන් ගැන සඳහන් වී තිබේ.

පිරිතේ විකාශනය තුළ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු වී ඇත්තේ මහනුවර යුගයේ දී ය. මහායානික අදහස් ද දේව සංකල්ප ද ප‍්‍රබල ලෙස පිරිත් චාරිත‍්‍ර සමඟ බද්ධ වූයේ එකල ය. එම පිරිත් උත්සව හින්දු ශාන්ති කර්ම ආදියට බෙහෙවින් සමාන විය. බලි තොවිල්වල දී ගන්නා බුලත්, නා දලූ, කුස තණ, ආදිද්‍රව්‍යයන් පිරිතක දී භාවිතයට ගැනුනු අතර දෙවියන් යැදීම ද ශබ්ද පූජා පැවැත්වීම ද පිරිතකට අත්‍යවශ්‍ය සාධක සේ සැලකිණි.
වර්තමාන ලාංකික බෞද්ධ සමාජයට සෙත්පිරිත් ක‍්‍රමය අතිශයින් සමීප ය. වරු පිරිත්, සර්ව රාත‍්‍රික පිරිත් මෙන් ම සති පිරිත් ද මෙකල සිදු කෙරේ. ඒ සියල්ලන්ගේ අපේක්ෂාව වන්නේ විපත් දුරු කරවා, යහපත සලසා ගනිමින් තෙරුවනේ ආශීර්වාදය ලබා ගැනීමයි.

ලක්දිව ආර්ය ආගමනයේ පටන් මේ දක්වා ම අඩු වැඩි වශයෙන් පිරිත් හා ජන ජීවිත බද්ධ වී තිබුණු ආකාරය මෙයින් ගළපා ගත හැකි ය.

එදා පිරිත – සරණංකර සංඝරාජ සමයෙන්…
මහාචාර්ය පණ්ඩිත පූජ්‍ය කොටගම වාචිස්සර ස්වාමීන් වහන්සේ

පිරිත් පින්කම්
බුදුරජුන් විසින් දෙසන ලද ඇතැම් සූත‍්‍ර ඇතුළත් කොට සංග‍්‍රහ කරන ලද චතුභාණවාර පාළිය ආරක්ෂා දේශනයන් වශයෙන් භාවිත කරන්නට පටන්ගත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව ය. එයට පෙර බුදුරදුන් විසින් හෝ ඔබගේ සවුවන් විසින් හෝ ඇතැම් සූත‍්‍ර ධර්ම පිරිත් වශයෙන් දේශනා කරන ලදි. පිරිත මහජනයා අතර ජනප‍්‍රිය වන්නට පටන්ගත්තේ දඹදෙණි යුගයෙන් පසු ව ය. සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනා ආදිය විධිමත් ලෙස ඇරඹුණේ මේ යුගයෙහි ය. එහෙත් මහනුවර යුගයේ පිරිත් පින්කම් පවත්වන ලද්දේ එයට වෙනස් අයුරෙනි.

මෙකල පිරිත් පින්කම්වල දී දෙවියන්ට මුල් තැනක් ලැබුණු බව පෙනේ. අදත් දක්නට ලැබෙන ගම්භාර දෙවියාට පහනක් තබා පිරිත් පින්කම් ඇරඹීමේ සිරිත මහනුවර යුගයේ සිට පැවත එන්නකි. වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුට වැලඳුණු ඇස් රෝගයකට ප‍්‍රතිකර්ම වශයෙන් රත්නත‍්‍රයයේ සහ දෙවියන්ගේ ආරක්ෂාව සලසාගැනීම සඳහා මහනුවර පෝයමළු විහාරයේ දී සතිපිරිත් දේශනයක් පවත්වන ලදි. අදත් සතිපිරිත් දේශනාවක දී අවසානයේ කැරෙන සියලූ ම චාරිත‍්‍ර විධි දෙවියන් හා සම්බන්ධ කොට තිබෙන්නේ එදා කළ අයුරු ම ය. මඟුල් බෙර ගසා දෙවියනට ආරාධනය කිරීම පිරිතේ අවශ්‍ය අංගයක් ලෙස සලකන ලදි.

දොරකඩ අස්න

පරිත‍්‍රාණ ධර්ම දේශනයෙන් සිදු කරගත් පින් දෙවියනට අනුමෝදනා කිරීම සඳහා දේව දූතයකු අත පණිවිඩයක් යැවීමත් ඒ සඳහා පැමිණිය යුතු දෙවියන් සහ ඔවුන් වාසය කරන සියලූ ම විහාරස්ථානවල සහ දේවාස්ථානවල නම් ඇතුළත් විහාර අස්න නම් දේශනයක් පැවැත්වීමත් ඇරඹුණේ මෙකල ය. මහ පෙරහරින් අසල තිබෙන විහාරස්ථානයකට හෝ දේවස්ථානයකට හෝ යන දේව දූතයා ආපසු විත් තමා ගිය කාරිය ඉටු වූ බවත්, සියලූ දෙවියන් ම සහපිරිවරින් පින් ගැනීමට පැමිණි බවත්, මහ සඟන ඉදිරිපිට දී මණ්ඩපයේ දොරටුව ළඟ සිට පවසයි. දොරකඩ අස්න නමින් අදත් ව්‍යවහාර කරනු ලබන්නේ මෙයයි.

අනුශාසනා අස්න

එයට පසු ව්‍යක්ත භික්ෂුවක විසින් එහි පැමිණියා යැයි සලකනු ලබන දෙවියනට පින් දීම සඳහා අනුශාසනා අස්න නම් දේශනයක් පවත්වනු ලැබේ. මහනුවර යුගයේ රචිත මේ දොරකඩ අස්න හා අනුශාසනා අස්න මෙන් ම විහාර අස්න ද යන රචනාත‍්‍රය ම වෘත්තගන්ධි ශෛලියෙන් යුක්ත ය.

මේ දොරකඩ අස්නෙහි සහ අනුශාසනා අස්නෙහි දකුණු ඉන්දියා දෙවිවරුන්ගේ සහ ඕලන්ද, පරංගි ආදි අපරදිග රටවල දෙවිවරුන්ගේ ද ආරක්ෂාව අයැද තිබෙන බව පෙනේ. ඔඩ්ඩි, වඩිග ආදි වශයෙන් දැක්වෙන දකුණු ඉන්දියා දෙවිවරුන් බෞද්ධයන් නො වූ නමුත් ඔවුන්ට ද පින් දීමට අදහස් කොට ඇත්තේ ඔවුන් කෙරෙහි පැවති දැඩි භක්තිය නිසා ය. මෙහි දී සැලකිය යුතු කාරණයන් වශයෙන් සඳහන් කරන්නට ඇත්තේ මහනුවර යුගයේ බලසම්පන්න දෙවියෙකු වශයෙන් අදහනු ලැබූ පත්තිනි අනුශාසනා අස්නෙහි හෝ දොරකඩ අස්නෙහි හෝ අමතක කොට හැරීම ය. මෙය අමතක කිරීමක් ම නො වේ. පත්තිනි සහ පනම් යන දෙවිවරුන් දෙදෙන ම පිරිත් පින්කම්වලට අකැමති බව එකල භික්ෂූන්ගේ අදහස විය. මැදගොඩ පත්තිනි දෙවොල අසල පිරිත් පින්කමට යෑමට භික්ෂූන් අසතුටු වූයේ එහි පත්තිනි මෑණියන්ගේ බලය ඇතැයි සැලකූ හෙයිනි. එසේ ම සොළී කුමාර දෙවි බින්තැන්නේ පිරිත් කියූ සැටනමක් මැදට හරක් ඇටයක් දමා ඒ භික්ෂූන්ගේ ඔළු එකට ගටා මරා ලේ බී බවක් පැවසෙන හෙයින් බින්තැන්නේ පිරිත් කීමට භික්ෂූහු මැළි වූහ. මේ සොළී කුමාර, එළාරගේ පුත‍්‍ර කුමාරයා වසු පැටියා මැරීමේ වරදින් පිය රජු විසින් මරන ලදු ව යකකු ව උපන් බව සැලකෙතත් ඔහු පිළිබඳ ව විස්තරය අනුව පෙනෙන්නේ ඔහු ද මුලින් සඳහන් පනම් දෙවි ම බව ය. පනම් දෙවියා ද භික්ෂූන් සැටනමක් මැරූ බව කියැවිණි.

අදත් බින්තැන්නේ සහ තමන්කඩුවේ පිරිත් කීමට භික්ෂූන් මැළි වන්නේ මොහුට ඇති බිය නිසා ය. එබඳු තැන ඔවුන් අනුශාසනා අස්නෙහි කෙසේ සඳහන් කළ හැකි ද? මෙහි දී අනුශාසනා අස්න රචනය කළ තැනැත්තා කළ බලවත් වැරුද්දක් නම් දකුණු ඉන්දියාවේ රටවලින් පැමිණි අමනුෂ්‍යයන් බෞද්ධ දෙවියන් වශයෙන් සැලකීම යි.

ආටානාටිය

අනුශාසනා අස්නෙන් පසු ප‍්‍රකාශ වන්නේ ආටානාටිය සූත‍්‍ර දේශනාව ය. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසට අමනුෂ්‍යයන් ගෙන් වන උපද්‍රව වළක්වාගැනීම සඳහා සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ‍්‍රවණයා බුදුරදුන් හට පැවසූයේ යැයි කියන මේ සූත‍්‍රය ඇසීමට මිනිසුන් ප‍්‍රිය කරන්නේ මෙහි යකුන් එළවීමේ බලයක් ඇත යන විශ්වාසය නිසා ය. එකල භික්ෂූන් ද මෙය දේශනා කෙළේ මහත් බියකින් සහ ගෞරවයකිනි. සමහර යකුන් මේ දේශනාව පැවැත්වීමට කලින් දේවාලයපත‍්‍ර පෙරහැර විහාරස්ථානයට ළඟා වන විට බණමඩුව ගිනි ලා විනාශ කළ බවක් ප‍්‍රසිද්ධ හෙයින් තවමත් ශ‍්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දේවාලයපත‍්‍ර පෙරහර ආපසු විහාරයට එන විට දෙවියන්ගේ නාමගෝත‍්‍ර ඇතුළත් මහාසමය සූත‍්‍රය දෙසනු ලැබේ.

පිරිත් පින්කම්වලට ඇතැම් දෙවියන් සහ යකුන් අමනාප වන බව ප‍්‍රසිද්ධ කොට ඇත්තේ කපුවන් සහ යක්දෙස්සන් යැයි පැහැදිලි ව ම පෙනේ. පිරිත් පින්කම් සඳහා දහස් ගණන් සෙනඟ ඇදෙන කල කපුවනටත් යකැදුරන් හටත් අවාසි ගෙන දේ. එසේ ම රතන සූත‍්‍රය ආදි සූත‍්‍ර ජීවම් කොට ආරක්ෂාව සලසාගැනීමෙන් තමන්ගේ ජීවන ක‍්‍රමයට පහර වැදෙතැයි සැලකූ දේවභක්තිකයන් එයට ද විරුද්ධ ව ප‍්‍රලාප දෙඩවූ බව පහත සඳහන් කවියෙන් හෙළි වේ:

‘‘සැටක් කප්පවා සීරි බුදින් නේ
සඟ සැට නමකුත් එකතැන් වෙන් නේ
එතැන පටන් ලක්සය පුරවන් නේ
ගොන් ගාතේ ඒ මැදට දමන් නේ”

පනම් දෙවියා විසින් කරන ලදැයි කියනු ලබන මේ ක‍්‍රියාව නිසා අදත් භික්ෂූහු රතන සූත‍්‍රය ලක්ෂයක් වර ජප කිරීමට අකැමැති වෙති. එය සම්පූර්ණ කිරීමට නො හැකි ය යනු ඔවුන්ගේ අදහස යි. ලංකාවේ අදත් පැවැත්වෙන මේ පිරිත් පින්කම් ක‍්‍රමය මුළුමනින් ම වාගේ හින්දු හා මහායාන ක‍්‍රමවලින් පිරී තිබේ.

-සසිදු මිහිරාන් සේනානායක- 

Wednesday 7 June 2023

අපේ ජනශ්‍රැතිය..

අපේ ජනශ්‍රැතිය...👇👇👇 


ලෝකයේ එක් එක් රටවල සිය සංස්කෘතිය අනුව සංස්කෘතියෙන් උරුම වූ උරුමයන් පවතින අතර ඒවා ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් සහ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.  ස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යටතට ගැනෙනුයේ ස්පර්ශ කළ හැකි සම්පත්‍ ය. එනම් ගොඩනැගිලි , ආහාර, ඇඳුම් පැළඳුම්, ප්‍රතිමා ආදිය ස්පර්ශ කළ හැකි ස්පර්ශනීයා සංස්කෘතික උරුමයන් යටතට ගැනේ.  අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යනු ස්පර්ශ කළ නොහැකි සිරිත් විරිත් , අප රටෙහි නම් ආගන්තුක සත්කාරය, ඇදහිලි, විශ්වාස ආදිය වන අතර ජනශ්‍රැතිය ද ඇතුලත් වන්නේ මෙම අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් යටතටය.


ජනශ්‍රැතිය යනු 👉 " ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ කිසියම් රටක ඥාණ සම්භාරය ලෙසට පෙන්වා දිය හැකිය. "

 සමහරවිට ජනශ්‍රැතිය අකුරු ලිවීමට හෝ කියවීමට නොදත් ප්‍රාථමික සමූහ අතර පවතින දෙයක් බවට සාමාන්‍යයෙන්  පොදුවේ බොහෝ දෙනෙක් පිළිගන්නා කරුණක් වූවද සැබවින්ම එය නිවැරදි මතයක් නොවේ. ජනශ්‍රැතිය පිළිබඳව විමර්ශකයින් දක්වන වර්තමාන අදහස්වලට අනුව පංති කාමරයක ශිෂ්‍ය පිරිසක් අතර, පාරෙහි වැඩකරන කම්කරු පිරිසක් අතර, ගුරු මණ්ඩලීය කාමරයක ගුරු මණ්ඩලයක් අතර, කාර්යාලයෙහි වැඩකරන ලිපිකරුවන් පිරිසක් අතර ආදී නොයෙකුත් සමාජ කණ්ඩායම්වල ඇතිවිය හැකිය.

 ලෝක ප්‍රකට විද්වතෙකු වන ලෙවී බ්‍රැල් පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතිය යනු මිනිසාගේ චින්තනයේ නියෝජනයකි. එනම් මිනිසා සමූහයක් ලෙසට සිතන, හැඟෙන දේ ජනශ්‍රැතියෙන් නියෝජනය වන බවය. ඇමෙරිකානු ජාතික ප්‍රැන්සිස් කුමේරි පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතිය මුළින්ම බිහි වන්නේ සාමූහික උපතකිනි. එනම් ඇය පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතියක් නිර්මාණය වන්නේ සමූහයා විසින් පිළිගත් අවස්ථාවන් වලදීය. වර්ෂ 1846 දී The Athenaeum නම් ග්‍රන්ථයේදී විලියම් තෝමස් පෙන්වාදෙන ආකාරයට ජනශ්‍රැතිය ලෙසට හඳුන්වන්නේ සමාජයේ සාමාජිකයන් ලෙසට මිනිසා විසින් ඇතිකර ගන්නා ලද දැනුම, විශ්වාස, කලා ශිල්ප චාරිත්‍ර සහ වෙනත් කුසලතා ඇතුළත් වූ සංකීර්ණ ඒකකයක් බවය. ජනශ්‍රැතිය යන වචනය ප්‍රථම වරට Folklore ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දෙන ලද්දේ ද විලියම් තෝමස් විසිනි.

 මිනිසා තම මානසික සහ කායික සුවය පතා යම් යම් ජනශ්‍රැති උපයෝගී කරගෙන තිබීම අපට දැකගත හැකි අතර එහිදී ජන කතා සහ ජන කවි විනෝදාස්වාදය සඳහා නිර්මාණය කිරීම සිදුකරන ලදී. ජනශ්‍රැතිය නිර්මාණය වන්නේ මෙවැනි විනෝදජනක පරමාර්ථයකට වඩා තමන්ගේ අත්දැකීම්වලින් ලබාගත් දැනුම සම්ප්‍රේෂණය කිරීම සඳහා ය. ජනශ්‍රැතියේ දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් ලෙසට ප්‍රධාන ජනශ්‍රැතිය වෙනස් නොවී ප්‍රධාන නොවන ජනශ්‍රැතික අංග වෙනස්වීම පෙන්වාදිය හැකිය. එම ප්‍රධාන නොවන ජනශ්‍රැතික අංග ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත වන විට එම ප්‍රදේශයේ භූගෝලීය, සමාජීය, දේශපාලනික, සංස්කෘතික හෝ ආර්ථික සාධක අනුව වෙන්ස්වීම්වලට ලක්වීම දැකගත හැකිය.

 ජනශ්‍රැතිය ක්‍රම ක්‍රමයෙන් විකාශනය වීමත් සමග ගොඩනැගුණු තවත් එක් සංස්කෘතික අංගයක් ලෙසට ජන ආගම පෙන්වාදිය හැකි අතර ශ්‍රී ලංකාවේ ජන ආගම යනු බුදු දහම හා සම්බන්ධ විශ්වාස සහ ඇදහිලි මෙන්ම දේව විශ්වාසයන්ගේ සම්මිශ්‍රණයක් ලෙසට සරලව පෙන්වා දිය හැකිය. නිදසුන් ලෙස පෙරහැර, බෝධි පූජා වැනි දෑ මෙන්ම කතරගම, විෂ්ණු, පත්තිනි ආදී දේව සංකල්පයන් ගොඩ නැගීම ද පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ජන ආගම සකස්වීම පිළිබඳව පෙන්වාදීමේදී බුදු දහම ශ්‍රී ලංකාවට ගෙන ආ පසු ලංකාවේ තිබූ ඇදහිලි සහ විශ්වාස ආදියත් ඉන්දියාවෙන් ලැබුණු විශ්වාස සහ පූජාවිධි ආදියත් එකතු වීමෙන් ගොඩනැගුණු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකිය. විෂ්ණු සමන් ආදී දෙවිවරුන් ඉහළ මට්ටමකින් ද, ඊට පහළින් බණ්ඩාර ආදී ප්‍රාදේශීය දෙවිවරුන් ද , ඊටත් පහළින් යක්ෂ භූතාදී දෙවිවරුන් ද ඇතුළත්කොට ජන ආගමේ දේව ඝණ සැලැස්මක් නිර්මාණය වී ඇත.

 ජන ආගමේ එන ඊෂ්වර කාලි ආදී දෙවිවරුන් අපගේ ජන ආගමට එකතු වී නොමැති අතර එනම් මෙම දෙවිවරුන්ට ශ්‍රී ලංකාවේ පුද පූජා ලැබුණේ හින්දු රජවරුන්ගේ අනුග්‍රහය ඇතිවය. ගණ දෙවියන් නුවර යුගයේ සිට අධ්‍යාපනයට අධිපති දෙවියා වශයෙන් සලකනු ලබන අතර එය හින්දු බලපෑම යටතේ ගොඩනැගුණු විශ්වාසයකි. කාලි දෙවියන් විනාශයේ දෙව්දුව වශයෙන් සලකයි. නමුත් කාලි දෙවියන් ජන ආගමේ දෙව්දුවක් ලෙස සලකනු ලබන්නේ නැත. විෂ්ණු දෙවියන් යනු ජන ආගමේ හතරවරන් දෙවිවරුන්ගෙන් එක් අයෙකි. ජනශ්‍රැතියට අනුව විෂ්ණු යනු ශ්‍රී ලංකාව ආරක්ෂා කරන දෙවියන් වේ. ජන ආගමේ එන ලෙස උපුල්වන් දෙවියන් යනු ස්වාභාවධර්මයා හා සම්බන්ධ දෙවියකු ලෙස ප්‍රකටය. උපුල්වන් දෙවියන්ද විෂ්ණු දෙවියන්ගේ කාර්යභාරය සමානව ඉටුකරණු ලබයි. ජනශ්‍රැතියේ එන එවන් අනු අංගයක් ලෙසට සිංහල ජන කවියද හඳුන්වා දිය හැකිය.

 ජනශ්‍රැතිය පිළිබඳව තව දුරටත් කරුණු විමසා බලන්නේ නම් නන්දසේන රත්නපාල මහතා විසින් 1995 වර්ෂයේදී රචනා කර ඇති ජනශ්‍රැති විද්‍යාව නම් ග්‍රන්ථය මඟින් පෙන්වාදෙන ආකාරයට ප්‍රාථමික හෝ සංකීර්ණ බවට පත් නූතන හෝ ජන සමූහයක් අතර කාලයක් තිස්සේ මුඛ පරම්පරාගත සම්ප්‍රදායෙන් ව්‍යාප්ත වූ ඥාණ සම්භාරයක් වන මෙම ජනශ්‍රැතිය වැදි හෝ ඇස්කිමෝ වැනි ප්‍රාථමික සමාජයක මෙන්ම නූතන කාර්මික සමාජයක ද දැකිය හැකිය. ජනශ්‍රැතිය පහළ වූයේ හෝ පහළ වන්නේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් මේ වන තෙක්ම ප්‍රකාශ කිරීමට ජනශ්‍රැති විද්‍යාඥායින්ට හෝ මානව විද්‍යාඥායින්ට නොහැකි වී තිබීමද විශේෂ ලක්ෂණයකි.

 මුඛ පරම්පරාගතව පැවත එන ජනශ්‍රැතිය ජනතාව, ජන කවිය , ජන විශ්වාස සහ ඇදහිලි, ආචාර විධි, චාරිත්‍ර වාරිත්‍ර, යාතු කර්ම, ප්‍රස්ථාව පිරුළු, තේරවිලි, ජන වෙදකම, ජන බස, ජන ක්‍රීඩා සහ ජන සන්නිවේදනය ආදී වූ විවිධාකාර අංග තුළ ද ගබඩා වී ඇති අතර ජනශ්‍රැතිය මුඛ පරම්පරාගතව ප්‍රවාහනය කරන්නාවූ මෙවලම බවට පත්ව ඇත්තේ භාෂාවයි. එහිදී ජනශ්‍රැතියේ බස ඉතා සරල විය යුතුය. නොයෙක් ප්‍රාදේශීය භාෂාවල බලපෑම ද ජනශ්‍රැතියට ලැබෙන අතර ජනශ්‍රැතියේ බිහි වීමේ මත අතරින් වඩාත් පිළිගත් මතය වන්නේ එය බිහි වී ඇත්තේ විනෝදාස්වාදය සඳහා වන බවය. ඒ අනුව බලනවිට ජනශ්‍රැතිය යනු කලාවකි.

-මිහිරාන් සේනානායක -

Tuesday 30 May 2023

සාම්ප්‍රධායික චාරිත්‍රකරණය

කොටහළු චාරිත්‍ර හා මංගල චාරිත්‍ර ...

මල්වර වූ දැරිය නිවසේ කාමරයක තබා දොරට බැස්වීම කළ යුත්තේද සුභ නැකැත් දිනයකට අනුවය.ජ්‍යොතිෂවේදියා විසින් දැරියගේ උපන් නැකත ,මල්වර නැකත හා ජන්ම කේන්ද්‍රයේ වෙනත් විශේෂයන් සලකා බලා.මෙම දොරට බැසීමේ නැකැත් දිනය තේරිය යුතුය.

පුරාණ ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව මල්වර දිනයේ සිට තුන්වැනි,සිව්වැනි හෝ පස්වැනි දිනවල දොරට වැඩ ස්නානය කළ යුතු බව සදහන් වෙතත් වර්තමානයේ උත්සව සාද ගැනීමේ අවශ්‍යතා මත දැරියට සති කීපයක්ම ගෙට කර තැබීමට සිදුවේ.(අඩුම තරමින් දින තුනක් වත් ගෙට කළ යුතුය.)
  දැරිය ස්නානය කරවන දිනයේ සිදුකළ යුතු සම්මත චාරිත්‍ර කිහිපයකි.ලිපිය දීර්ඝ වීම වලකනු පිණිස ඒවා අනුපිළිවෙලින් දක්වා ඇත.
  1) සුභ නැකත් වේලාව ආසන්න වන විට දැරියගේ මව විසින් නිවසේ පෑල දොරින්(පිටුපස දොරින්) දැරිය නිවසින් පිටතට ගත යුතුය.නාවා අවසන් වන තුරු පිරිමින් දැකීම අගුණ නිසා නාවන ස්ථානයට රුගෙන යන තුරු දැරියගේ හිස ආවරණය කළ යුතුය.අනතුරුව කලින් තෝරා ගත් පිරිසිදු ස්ථානයක කිරි ගසක් යට ආවරණය කළ ස්ථානයකදී දැරිය ස්නානය කළ යුතුය.දැරියගේ මව විසින් ස්නානය කරවීම වඩාත් සුදුසුය.වර්තමානයේ රජක කුළ ස්ත්‍රීන් ලවා නෑවීම කළත් දැරියට සෙත් පැතීම සාර්ථකව සිදුකළ හැක්කේ දැරියගේ මවට පමණි.දැරියගේ මව නොමැති විට දරුවන් සිටිනා ඥාති නැන්දනියක නෑවීම කළ යුතුය.ස්නානයට ඖෂධ බෙහෙත් බඩු අළෙවි සැල් වලින් ලබා ගත හැකි අතර එකතු කර ගැනීමද කළ හැක.මෙම බෙහෙත් බඩු කකරා ගෙන නෑවීම කිරීමට සදහන්ව ඇතත් ඇතැම් විට මෙම බෙහෙත් දැරියන්ට අපත්‍ය(හිසේ කැක්කුම්) වීමට ඉඩ ඇති නිසා බෙහෙත් බඩු සියල්ල බෙහෙත් රෙදි කඩක ඔතා පෙරදින රාත්‍රියේ සිට වතුර කළයේ පෙගෙන්නට තබා උදෑසන නැකැත් වේලාවට නෑවීම කරන්න.
 ස්නානයට ඖෂධ
       දේවදාර,ඊතණ,වදකහ,වෙනිවැල්ගැට,බැබිල,කලාදුරු,සුවඳ කොට්ටම්,රත් හදුන්,සුදු හදුන්,අමු කහ,කොහොඹ කොළ
  මෙම ඖෂධ වට්ටෝරුද ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්වේ.


 2) දැරිය නහවා ගෙට ගැනීමද සිදුකරන්නේ චාරිත්‍රාණුකූලවය.නෑවීමෙන් පසු දැරියට සුදු ගවොමක් හෝ ළමා සාරියක් අන්දවයි.දැරිය ගෙට කැදවාගෙන එන මාවත(සඩංගම් වීදිය.) දෙපස කෙසෙල් කැන්,පළතුරු,වී සහල් ආදිය එල්ලා සශ්‍රීකත්වය සංඛේතවත් කරයි.දැරිය ගෙට ගොඩවන දොරකඩ ලඟ පොල්ගෙඩියක්,පැදුරක්,කණ්නාඩියක් පනාව හා වතුර බදුන ඇගේ දැකුමට තබයි.
 3) ගෙට ඇතුල් වූ පසු පළමුව බුදුන් වැද අනතුරුව ගෙයි මැද පැදුරක් එළා ඒ මත පුන් කළසක් ,වටේට පොල්තෙල් පහන් කිරිබත් කැවිළි ආදිය තබා දැරිය ලවා පුන් කලස නිරාවරණය කොට පහන් දැල්වීම කළ යුතුය.ඉන්පසු දැරිය ලවාම රෙදි නැන්දාට නියමිත තෑගි බෝග දී අනතුරුව දෙමාපියන්ට බුලත් දී දෙපා වැද ආශීර්වාද ගත යුතුය.අනතුරුව දැරිය විසින් තමන්ගේ වැඩිමහළු ඥාතීන්ට බුලත් දී වැද ආශීර්වා ලබා ගනී.ඥාතීන්ද දැරියට තෑගි බෝග වලින් සංග්‍රහ කරයි.
 4) අනතුරුව දැරියගේ පවුළේ ඥාතීන් සමඟ එක මේසයක වාඩිවී එදිනට නියමිත කෑම වර්ගයක් පළමුව දැරියට කෑමට දිය යුතුය.ස්නානයෙන් පසු දැරියට දෙන මෙම පළමු ආහාරය මාංශ වලින් තොර විය යුතුය.මෙම පළමු ආහාරය ගැනීමද සුභ නැකතකට කළ යුතුය.
 5) අනතුරුව එදිනට නියමිත වර්ණයෙන් යුත් අළුත් ඇදුමක් දැරියට අන්දවා හිත ඥාතීන්ට සංග්‍රහ කිරීමට ඈ විසින්ම ආරාධනා කරවීම කළ යුතුය.එදින ඇගේ සිත සතුටු වන අයුරින් උත්සව සිරියෙන් ගත කිරීම වඩාත් සුදුසුය.
                  

 විවාහ චාරිත්‍ර 
          
පොරොන්දම් බැලීම
 විවාහ යෝජනාවකදී පැරැන්නෝ ප්‍රථමයෙන්ම සිදුකළේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ පොරොන්දම් ගැලපීම පිළිබදවය.දෙපාර්ශ්වයේම අය තමන්ගේ පවුලේ දෙදෙවඥයා හෝ දෛවඥයන් ලවා පොරොන්දම් බැලීම සිදු කරයි.දෙපාර්ශ්වයම පොරොන්දම් ගැලපීම පිළිබදව සෑහීමට පත්වන්නේනම් දෙවන පියවර වන්නේ පවුල බලන්නට යාම හෙවත් "බත බුලත් කෑම"යි.
       
පවුල බලන්නට යාම(බත බුලත කෑම)
 පළමුවෙන්ම මනාළයාගේ පාර්ශ්වයෙන් මනාලියගේ නිවසට පැමිණීම සිදු කරයි.මනාලිය මනා ලෙස සැරසී බුලත් හෙප්පුවක් රුගෙන මනාළයා ප්‍රමුඛ මනාළ පාර්ශ්වයේ ඥාතින් හමුවට පැමින ආචාර කරයි.මනාලිය විසින් බුලත් හෙප්පුව පිළිගැන්වීමේ ස්වරූපයෙන් ඇගේ ගති ස්වභාවය තීරණය කිරීමට පැරැන්නෝ පුරුදුව සිටියත් මනාළියව ඒ සදහා සුදුසු ලෙස උගන්වා හැඩ ගැස්විය හැකි නිසා සෙප්පුව පිළිගැන්වීමෙන් චරිතය නිගමනය කිරීම වර්තමානයට ගැලපෙන්නේ නැත.
  අනතුරුව සිදු කරන්නේ මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාගේ පවුල බලන්නට යාමයි.මෙහිදී මනාලිය එම ගමනට සහභාගී නොවේ.


නැකැත් සෑදීම
  මනාළ මනාළිය දෙදෙනාගේ වයස රූපය තත්ත්වය අදහස් ගැලපීම මෙන්ම දෙපාර්ශ්වයේ තත්ත්වය (ආගම,කුලය,ධනය,බලය,ඥාතීන්,හැදියාව ආදිය) ගැලපේ නම් ඊලඟ කටයුත්ත විවාහයට නැකැත් සකස් කීරීමය.සම්ප්‍රධායික ලෙස නැකැත් සෑදීම කරන්නේ මනාළ පාර්ශ්වයෙන්ය.මනාළ පාර්ශ්වයෙන් එම නැකැත් පත්‍රය මනාළියගේ පාර්ශ්වයට භාර දෙන අතර එම නැකැත්වල දෝෂ අඩුපාඩු ඇත්දැයි මනාළියගේ පාර්ශ්වයෙන් පරීක්‍ෂා කර බලයි.
  විවාහයේදී විශේෂයෙන් සලකා බලන ප්‍රධාන නැකැත්
 පූර්ව මංගල නැකැත්
 1) මනාළ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාළි පාර්ශ්වයට භාරදීම
 2)දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන්ම මංගල දිනයට ආරාධනා කිරීම(බුලත් දීම)
 3) තෙල් වළං ලිප තැබීම.


 මංගල දිනයේ නැකැත්
 4) මනාළ මහතා නිවසින් පිටත්වීම
 5)මනාළියට තැල්ල බැදීම/වේල් එක දැමීම
 6)මනාළයගේ පැමිණීම
 7)මංගල පෝරුවේ නංවා චාරිත්‍ර ඉටුකිරීම(සළු පැලදවීම ආදිය)
 8) පෝරුවෙන් බැසීම
 9) පොතේ විවාහය සිදුකිරීම(විවාහය ලියා පදිංචි කිරීම)
 10)මගුල් මඩු ඉදුල් කිරීම
11)යුවල පිටත්වීම


 පසු නැකැත්
12)ජෝඩුව පසුගමන් පිටත්වීම
13)මනාළ යුවළ නිවසට ගොඩ වැදීම

  1) මනාළ පාර්ශ්වයෙන් සකස් කළ නැකැත් පත්‍රය මනාළි පාර්ශ්වයට භාරදීම   
         ඈත අතීතයේ සිංහලයන් ඉතා ඕනෑ කමින් සිදුකළ චාරිත්‍රයකි.සෙත්කවි ශලෝක ආදියෙන් විචිත්‍රවත්ව සකස් කරන ලද නැකැත් පත්‍රය මනාළියගේ පාර්ශ්වය ඉදිරියේ කියවීමද විශේෂත්වයකි.කවිකතා වලින් වර්ණවත් වූ විවාදාත්මක ස්වරූපයක් ගත් මෙය මනා සුහද හමුවක් වැනිය.වර්තමානයේ මෙම චාරිත්‍රය ගන්නේම නැති තරම්ය.


 2)දෙපාර්ශ්වයේ අය තම තමන්ගේ පාර්ශ්වයේ ඥාතීන්ට පළමුවෙන්ම මංගල දිනයට ආරාධනා කිරීම(බුලත් දීම)
    මෙයද සුවිශේෂී චාරිත්‍රයකි.මේ සදහා තෝරා ගන්නේ තමන්ට ඉතාමත් හිතවත් විශ්වාසදායි සමීපම පවුලේ ඥාතියකුය.බුලත් දීම සිදු කරන තුරු මංගල දිනය අන් අයට දැනුම් නොදීම ඉපැරණි ක්‍රමය වුවත් වර්තමානයේ මංගල උත්සව හෝටල් වල ගැනීම ආදී විසිතුරු වැඩ නිසාම අන්දන කෙනාට පොටෝ ගසන්නාට ආදින්ට සැමටම පෙර මගුල් දිනය දැන්වීමට සිදුවේ.එනමුත් බුලත් දී චාරිත්‍රාණුකූලව කෙරෙන කාර්යයට ඉන් පීඩාවක් නැත.

3) තෙල් වළං ලිප තැබීම.
    නැකැත් දිනය ආසන්න වන විට දෙපාර්ශ්වයේම අය මංගල්‍යයට කැවිළි සෑදීම සදහා නැකතට තෙල් වළං ලිප තබයි.


 මංගල උත්සව දිනට පෙර දින මනාලයාගේ නිවසෙන් බුලත් කොල යම්කිසි ප්‍රමාණයක් මනාලියගේ නිවසට යවයි. මෙයින් කියවෙන්නේ මේ බුලත් කොල ගණනට සමාන පිරිසක් මංගල උත්සවය සඳහා මනාලයාගේ පාර්ශවයෙන් සහභාගි මන බවයි


 මංගල දින චාරිත්‍ර






   * මනාළ මහතා නිවසින් පිටත්වීම
     මංගල දිනයේදී මනාළ මහතා මනාළියගේ නිවසට යාමට තම නිවසින් පිටත්වන්නේ සුභ නැකතකටය.මනාළයාගේ මව වතුර වීදුරුවකට සුදු මල් දමා පෙරමඟට පැමිණේ.
    මලින් සරසන ලද මංගල රථයට මනාළයා සමග දෙවන මනාළයාද ගොඩවන අතර අනිත් ඥාතීන් වෙනත් වාහන වල මංගල රථයට පසුපසින් පැමිණේ.
     සමහර මනාලයන් නිවසින් පිටවීම සඳහා නැකැතක් නොබලයි. නමුත් මනාලයාට මේ අවස්ථාව තම ජීවිතයේ ඉතාම වැදගත් අවස්ථාවක් බැවින් ඒ සඳහා නැකැතක් බැලීම අත්‍යවශ්‍යයය.සමහර අවස්ථාවලදී මනාලයා නිවසින් පිටවී යන නැකැත එළඹෙන අවස්ථා‍ෙව්දී මනාලයාගේ පවුලේ අය සූදානම් වී නොසිටියි.සමහර විට මනාලයා නිවසින් පිටවීමේ නැකත හා මංගල උත්සවය පැවැත්වෙන ස්ථානය කරා ළඟාවිය යුතු වේලාව අතර සෑහෙන පරතරයක් පවතී.මේ අවස්ථා දෙකම නිසා සිදු වන්නේ මනාලය‍ා නිවසින් පිටවීමේ නැකැතට නිවසින් පිටවී මිදුලට වී පැය ගණනක් බලා සිටීමය.
සිදුවිය යුත්තේ මෙය නොවේ. මෙය නැකත පිළිපැද්දා යයි පවසා සිත සනසා ගැනීමට දරන උත්සාහයකි.
නැකත ඇත්තේ පවුලේ සියළු දෙනා සමඟින් නිවසින් පිටවී යාමට මිස නිවසේ ප්‍රධාන දොරටුවෙන් පිටවීමට නොවේ.මෙයින් මනාලයා කලකිරීමට පත්වීම, වෙහෙසට පත්වීම ආදියද සිදුවේ.
එමෙන්ම වර්තමානයේ බොහෝ මංගල උත්සව මනාළියගේ නිවසේ නොගෙන හෝටලවල ගන්නා නිසා මනාළිය පිටත්වීමේ නැකතක්ද නැකැත් පද්ධතියට එකතු වී ඇත.

මනාළයාගේ පැමිණීම
   මනාළියගේ නිවසට ඇතුළු වීමට ප්‍රථම මනාළ මහතාගේ පියා විසින් මනාළියගේ නිවසට ගොඩවැදීමේ නැකැත් වේලාවට ප්‍රථම සිය පිරිසගේ ප්‍රමාණයට බුලත් හුරුල්ලක් සකස් කර මනාළියගේ දෙමාපිය ඥාතීන් පිරිනමා තම පිරිසට නිවසට පැමිනීමට අවසර පතයි.දෙපාර්ශ්වය අතර සම්ප්‍රධායික තහංචි කවි හුවමාරුවෙන් පසු සතුටු සිතින් යුතුව නැකැත් වේලාවට මනාළයා ප්‍රමුඛ ඥාතින් මනාළියගේ නිවසට ගොඩ වදී.වර්තමානයේ හෝටල් වල උත්සව ගැනීම නිසාම මේ චාරිත්‍රයේ ප්‍රායෝගික වින්දනය යටපත් වී ඇත.


  මල් කළඹ පිළිගැන්වීම
       මනාළයා නිවසට ගොඩ වැදීමට පෙර රථයෙන් බැස මනාළියගේ නිවසට එන දෙවන මනාළයා විසින් මල් කළඹ මනාළිය අතට දී නැවත පිරිසට එකතුවේ.


පාවඩ එලීම
   මනාළයාගේ පැමිණීමට මනාළි පාර්ශ්වයේ හේනේ මාමා විසින් පාවඩ එලීම සිදු කරයි.හේනේ මාමාගේ හිත සතුටු කිරීමට මනාළයා විසින් යම් මුදලක් පාවඩය මතය දමයි.මෙම තෑගි මුදල "පාවඩ මස්ස " ලෙස හැදින්වේ.


දෙපා සේදීම 
 මනාළියගේ බාල මළනුවන් විසින් මනාළයාගේ දෙපා සෝදා ගෙට ගැනීමේ පැරණි චාරිත්‍රයක් ඇත.මනාළියගේ මළනුවන්ට මනාළයාගෙන් ලැබෙන තෑග්ග රන් මුදුවකි.


පිළිගැනීමේ ගීත ගයා මනාලයා පිළිගැනීම හා අනතුරුව දෙමාපියන් විසින් මනාළයාව චාරිත්‍රාණුකූලව පිළිගැනීම.


මංගල පෝරුවේ නැගීම
  පෝරුව සකස් කිරීම ප්‍රදේශ අනුව විවිධාකාරවේ.පෝරුවේ සිව්කොණේ පුන් කළස් තබා ඒ මත පොල්බල් බහා මැටි පහන් හතරක් තබයි.(සතර වරම් දෙවි පහන්) පෝරුව මතුපිට පැදුරක් එලා ඒ මත සුදු රෙද්දක් එලා ඒ මත නොපෑගෙනසේ කැකුළු සහල්,ලද පස්මල් බුලත්,පඩුරු ආදිය අතුරයි.මීට අමතරව මංගල සම්මත වස්තුන් තැන්පත් කිරීමද පුරාණ චාරිත්‍රයකි.
  සුභ නැකැත් වේලාව ආසන්න වන විට මනාළ යුවළ ස්වකීය මාමා වරු අතින් අල්ලා පෝරුවට නැංවීම කරණ අතර අදාළ චාරිත්‍ර විධි දත් මහතෙකු විසින් පෝරුවේ චාරිත්‍ර ඉටු කරයි.


 පෝරුවේදී ඉටුකරන ප්‍රධාන චාරිත්‍ර
   ත්‍රිවිධ රත්න නමස්කාර
   සතර වරම් දෙවියන්ට පහන් දැල්වීම.
   දෙවියන්ගෙන් අවසර පැතුම
   යුවළ පෝරුවේ නැංවීම
   උතුම් දළුවර පිදීම
   අශ්ඨක කියවීම
  මංගල මුදු පැළදවීම
  සළු පිළි දැවටීම
  අතැගිළි බැදීම
  පැන් වැඩීම
  ජයමංගල ගායනා
  පෝරුව ඉදුල් කිරීම
  හඟල හුරුළු පිදීම
  කච්චි කිරිකඩ පිදීම
  බුලත් හුරුළු ගෙන සුභ පැතීම
  පොරුවෙන් බැස්සවීම හා ඒ සමගම ශබ්ද පූජා පැවැත්වීම(මගුල් බෙර සක් පිඹීම පොල් ගෙඩියක් බිදීම)


 පොල්තෙල් පහන දැල්වීම 
   පෝරුවෙන් බහින යුවළ ප්‍රථමයෙන්ම කරනුයේ චාරිත්‍රාණුකූල පොල්තෙල් පහණ දැල්වීමය.


 කිරිබත් කෑම
      පුරාණයේ සිටම සුභ කටයුතු කිරීමේදී කිරි මිශ්‍ර ආහාරයක් ගැනීමේ චාරිත්‍රයයි.වර්තමානයේ මෙය කේක් කැපීම ලෙස කල එළි බැස ඇත.


 පොතේ විවාහය (විවාහය නීත්‍යානුකුලව ලියාපදිංචි කිරීම)
    මෙම කටයුත්ත ඇතැම් විට පෝරුවේ නැගීමට පෙර මෙන්ම පසුව කරන අවස්ථා ඇත.වර්තමානයේ විවාහය ලියාපදිංචි කිරීම මංගල දිනයට පෙර සුභ දිනයක නැකතට සිදු කිරීම බහුල වුවත් පුරාණයේ මෙම කටයුු සියල්ල කළේ එකම දිනයකදීය.


මගුල් මඩු ඉදුල් කිරීමද චාරිත්‍රාණුකූලව සුභ නැකතින් සිදු විය


 සුභ නැකතට යුවළ පිටත්වීම
    මංගල සභා ආදිය පැවැත්වීමෙන පසු ඥාතීන්ගේ ආශීර්වාදය මත යුවළ සුභ නැකතින් මධු සමයට පිටත්වේ.


දෙවන ගමන 
   මනාළ යුවළ මධු සමය ගතකොට පසුදා උදෑසන රෙදි නැන්දා සමග මනාලයාගේ මව යුවළ විසූ කාමරය වෙත පැමිණේ.පෙරදින පෝරුවේදී මනාළියගේ ඉන දැවටූ සුදු පිරුවටය මධු සමයේදී ඇගේ චරිත ශුද්ධිය ඔප්පු කිරීමට භාවිතා කරයි.මනාළයාගේ මෑණියන් විසින් එය පරීක්‍ෂා කොට මනාළියගේ චරිතය පිළිබදව සතුටට පත්වේ නම් එම සුදු පිරුවටේ කොණක මුදලක් ගැට ගසා රෙදි නැන්දා වෙත ලබා දෙයි.අනතුරුව රබන් ගසා මෙම සතුට ප්‍රකාශ කොට දෙවන මනාලයා අත රතු රෝස මලක් දී මනාළියගේ නිවසට ගොස් එය දන්වයි.මනාළියගේ පාර්ශ්වයේ අයද ඔහු ආදරයෙන් පිළිගෙන රබන් ගසා මනාළියගේ පාර්ශ්වයද සතුට පළ කරයි.අනතුරුව මනාළියගේ පාර්ශ්වය දෙවන ගමනට මනාළයාගේ නිවසට පිටත්වේ.(කදමළු රුගෙන යාම)
  මනාළ යුවළ සුභ නැකතින් පිටත්වී මනාළියගේ පාර්ශ්වය සමග මනාළයාගේ නිවසට පැමිනෙන අතර මනාළයාගේ මව්පියන් විසින් යුවළ ආදරයෙන් පිළිගනී.දෙවන දිනයේදී මනාළිය සැරසී සිටින්නේ පොරුවේදී ලද සළු පිළි වලිනි.පාරිශුද්ධ දියණියක් තමන්ට ලබා දීම පිළිබදව මනාළ පාර්ශ්වයේ දෙමව්පියන් මනාළියගේ දෙමව්පියන්ට චාරිත්‍රාණුකූලව කෘතඥතාව පළ කරන අතර තම දියණිය අද සිටම නුඹලාගේම දියණිය මෙන් සෙනෙහසින් රැකබලා ගන්නා ලෙස හෙළ සිරිත් චාරිත්‍රාණුකූලව මනාළියගේ දෙමව්පියන් බුලත් හෙප්පු තෑගි බෝග හුවමාරුවෙන් සිදු කරයි.

ස්තුතියි..! 

පිරිතේ අසිරිය..

පිරිතේ අසිරිය..  පිප්ඵලී ගුහාව අවට නිහඬ ය… නිසසල ය… මුනිවරුන්ගේ සමවතින් වන අරණ ද දැහැන්ගත වී ඇති සෙයකි. කෙලෙස් කහටින් මිදී ගත් සිත් ඇති වුව ...