Tuesday, 27 June 2023

පිරිතේ අසිරිය..

පිරිතේ අසිරිය.. 


පිප්ඵලී ගුහාව අවට නිහඬ ය… නිසසල ය… මුනිවරුන්ගේ සමවතින් වන අරණ ද දැහැන්ගත වී ඇති සෙයකි. කෙලෙස් කහටින් මිදී ගත් සිත් ඇති වුව ද කායික පීඩාවන්ගෙන් යුතු ව බොහෝ ගිලන් වූ බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ නමක් ඒ ගුහාවේ වැඩ වාසය කෙරෙති. ප‍්‍රිය උපදවන්නා වූ තේජස්වී පෙනුමකින් යුතු ඒ නික්ලේෂී මුනිවරයාණන් වහන්සේගේ කායික දුක්ඛ පීඩා මහා කරුණා නෙතකට සම්මුඛ වී ඇත.

රුවින් ද ගුණින් ද නැණින් ද තිලොවට ම අගේ‍්‍රෂ්වර වූ ඒ කරුණා නෙතේ හිමිකරුවාණන් වහන්සේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභය භූමිය වූ වේළුවනයේ සිට පා සිවුරු ගෙන මේ සවස් කල වැඩම කරන්නේ පිප්ඵලී ගුහාව වෙතට ය. පනවන ලද ආසනයෙහි වැඩ හුන් ඒ මහා කාරුණිකයාණන් වහන්සේ තමන් වහන්සේගේ අනුජාත පුතණුවන් විචාරන සේක.

‘‘පින්වත් කස්සප, ඔබට ඉවසිය හැකි ද? පහසුවෙන් සිටින්නට හැකි ද? කයේ දුක්වේදනා අඩු වීමක් තිබේ ද? වැඩි වීමක් නො වේ ද? අඩු වීමක් ම දකින්නට ලැබේ ද? වැඩි වීමක් නො පෙනේ ද?”
බුද්ධ පුත‍්‍රයාණන් වහන්සේ මහත් ගෞරවයෙන් යුතු ව පිළිතුරු වදාරති.

‘‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ අසනීපය ඉවසන්ට නො හැකි ය. පහසුවෙන් සිටින්නට නො හැකි ය. මාගේ කායික දුක් වේදනා ඉතා බලවත් ය. වැඩි වීමක් ම ඇත්තේ ය. අඩු වීමක් නැත්තේ ම ය. දකින්ට ලැබෙන්නේ වැඩි වීමක් ම ය. අඩු වීමක් දකින්ට නො ලැබෙන්නේ ය.”

ඒ බව ඇසූ තැන්හි පටන් මහා කරුණා හදැති සම්බුදු මුව මඬලින් සීතල ජල දහරාවක් වන් ව ගලා හැලෙන්නේ ලොව සියලූ දුක් පීඩා සහමුලින් ම දුරු කළා වූ අසිරිමත් සම්බුදු අවබෝධය පිළිබඳ විස්මිත වූ, සුන්දර වූ දෙසුමකි.

‘‘සත්තිමේ කස්සප බොජ්ඣංගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්’ති.”

‘‘පින්වත් කස්සප, මා විසින් ඉතා යහපත් ලෙස පවසන ලද්දා වූ, ප‍්‍රගුණ කරන ලද්දා වූ, බහුල වශයෙන් දියුණු කරන ලද්දා වූ, විශේෂ ඤණය පිණිස ද ආර්ය සත්‍යය අවබෝධය පිණිස ද නිවන් අවබෝධය පිණිස ද පවතින්නා වූ මේ බොජ්ඣංග ධර්මයන් හතකි…..”


                                                                






ඒ සත්‍යානුභාවයෙන් සුව විය සියල් රෝග ,
දුක් 
මෙසේ සප්ත බොජ්ඣංග නම් වූ සප්ත මාණික්‍යයන් ගැන තථාගතයන් වහන්සේ දේශනා කොට අවසන් කෙරෙනවාත් සමඟ ම ඒ දෙසුම මැනවින් අසා හුන් මහා කස්සපයන් වහන්සේ කායික රෝග පීඩාවන්ගෙන් සුවපත් ව නැගී සිටියහ. ලොව පරම සත්‍යය අවබෝධ කළ තථාගතයන් වහන්සේ ඒ අවබෝධයෙන් දේශනා කරන්නට යෙදුණු සත්‍යයේ ආනුභාවයෙන් ම එසේ සැණෙකින් සියලූ දුක් පීඩාවන් සමනයට පත් විය.

මේ ආකාරයෙන් ම මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේත්, මහා චුන්ද තෙරුන් වහන්සේත් ගිලන් බවින් උග‍්‍ර වූ පීඩාවන් විඳිමින් සිටිය දී තථාගත යන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණ සප්ත බොජ්ඣංග ධර්මයන් ශ‍්‍රවණය කිරීමෙ න් සුවපත් භාවයට පත් වූහ. වරෙක තථාගතයන් වහන්සේ ගිලන් ව වැඩ සිටිය දී ද පින්වත් ස්වාමීන් වහන්සේලා සප්ත බොජ්ඣංග ධර්මයන් සජ්ඣායනා කරන්නට යෙදුණ අතර එකල්හී තථාගතයන් වහන්සේ ගිලන් බවින් නැගී සිටි සේක.

ගිරිමානන්ද රහතන් වහන්සේ ගිලන් ව සිටිය දී ආනන්ද තෙරුන් වහන්සේ විසින් දස සඤ්ඤා පිළිබඳ ව තථාගත භාෂිතය සජ්ඣායනා කරන්නට යෙදුණ සේක. දේශනාව අවසන ගිරිමානන්ද රහතන් වහන්සේ සුවපත් භාවයට පත් වූහ.

ඒ සත්‍යානුභාවයෙන් සහමුලින් දුරුවී ය තුන්බිය

ලිච්ජවී රාජධානිය පිහිටා තිබුණේ මගධ හා කෝසල රාජ්‍යයන් අතර ය. ඔවුනගේ අග නගරය වූයේ විශාලාව යි. සශ‍්‍රීකවත් ව තිබූ ලිච්ඡුවී රාජධානිය පුරා මහා දුර්භික්ෂයක් පැතිර යන්නට විණි. ආහාරපාන බොහෝ හිඟ වූ අතර ශීඝ‍්‍රයෙන් බෝ වන රෝග ද පැතිරෙන්නට පටන් ගති. රෝග පීඩාවන්ගෙන් මිනිසුන් දිගින් දිගට ම මරණයට පත් වන අතරේ ඒ දුක්ඛිත ඉරණම ඇස ගැසුනු අමනුෂ්‍යයෝ විශාලාවේ රොද බඳින්නට වූහ. දුර්භික්ෂ, රෝග හා අමනුෂ්‍ය යන තුන්බියෙන් ඇළලී ගත් විශාලාව සොහොන් පිටියක ස්වරූපය ඉසිලී ය.

යාගහෝම, පුදපූජා, යාදිනි කිසිවකින් තුන්බිය පළවා හැරුණේ නැත. අවසන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රාජධානියට වැඩම කරවා ගත යුතු යැයි තීරණය කෙරිණි. පිළිවෙත් සරු සඟ පිරිවර සමඟින් තථාගතයන් වහන්සේ ලිච්ඡවී දේශය බලා වැඩම කිරීම අරඹනවාත් සමඟ ම ඒ තාක් පැවති දුර්භික්ෂය නිමා කරවමින් ලිච්ඡවී දේශයට මහ වැසි ඇද හැළෙන්නට පටන් ගති. මළකුණු ද සහිත වූ සියලූ අපද්‍රව්‍ය මහ මුහුදට ගෙන යනු පිණිස ජල දහරාවෝ අහසින් වැගිරෙන්නට පටන් ගති. බුදු පාමොක් මහා සඟ රුවන නගරයට සමීප වත් ම මිනිසුන්ට අරක් ගෙන සිටි නීච අමනුෂ්‍යයෝ වහා පලා යන්නට වූහ. මළ කඳන් සේදී ගසාගෙන ගොස් පිරිසිදු වූ නගරයේ වැසියන් අමනුෂ්‍ය දෝෂ ද නැසී යාම හේතුවෙන් සැණෙන් සුවපත් වන්නට වූහ.

පැන් පාත‍්‍රයක් ගෙන්වා ගත් තථාගතයන් වහන්සේ රතන සූත‍්‍ර දේශනාව වදාළේ ඉන් පසුව ය. ආනන්ද තෙරුන් වහන්සේ රතන සූත‍්‍රය ම සජ්ඣායනා කරමින් ලිච්ඡවී ජනපදය පුරා පැන් ඉසිමින් වැඩම කළ සේක. ඉනික්බිති තුන්බිය පහව ගිය ලිච්ඡුවී රාජධානය පෙර වූ සශී‍්‍රකත්වයෙන් ම යුතු ව ගොඩ නැගුණි.

ඒ සත්‍යානුභාවයෙන් පලවා හැරිනි හැම බිය

බුද්ධ කාලීන ව වැඩ විසූ ස්වාමීන් වහන්සේලා සමූහයක් තථාගතයන් වහන්සේගේ අවවාද ගෙන හිමාල පර්වත ප‍්‍රදේශයේ වූ රමණීය වන අරණක වස් සමාදන් වූහ. අසල්වැසි ගම්මානයන්හී මිනිසුන් උන්වහන්සේලාගේ වැඩමවීම කෙරෙහි මහත් සතුටට පත්ව සංඝෝපස්ථානයේ නිරත වූහ. සීල ගුණෝපේත වූ ඒ ස්වමීන් වහන්සේලාගේ සිල් සුවඳ දසත පැතිරෙන කල්හි එම වන අරණෙහි විමාන සාදාගෙන හුන් වෘක්ෂ දේවතාවුන්ට තව දුරටත් උන්වහන්සේලාට ඉහළින් වාසය කරන්නට නො හැකි විය. විමාන අහිමි වීම නිසා කම්පාවට පත් වූ එම දෙවිවරුන් සිදු කළේ ස්වාමීන් වහන්සේලා ව බියපත් කිරීම ය. ඔවුහු නොයෙකුත් බියකරු ශබ්ද නගන්නට වූහ. අද්භූත රූප මවන්නට වූහ. අප‍්‍රසන්න ගන්ධයන් පතුරුවන්නට වූහ. වස් කාලය අවසන් වන තුරු ම ස්වාමීන් වහන්සේලාට මෙම අකටයුතුකම් මධ්‍යයේ වාසය කරන්නට සිදු විය.

වස් පවාරණය කොට යළි වඩින්නා වූ ස්වාමීන් වහන්සේලාගේ පෙර තිබූ ප‍්‍රියමනාප ස්වරූපය හාත්පසින් ම වෙනස් වී තිබුණි. අමනුෂ්‍ය බිය නිසාවෙන් මේ සියල්ල සිදු වූ බව උන්වහන්සේලා තථාගතයන් වහන්සේට දැනුම් දුන්හ. එවිට තථාගතයන් වහන්සේ සිදු වූ දෙය පහදා දී කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කළ සේක. යළි එම වනයට ම ගොස් මෙම සුතුර සජ්ඣායනා කොට වැඩ වාසය කරන්න යැයි ද අනු දැන වදාළ සේක.

ඒ අවවාදය පිළිගත් තථාගත ශ‍්‍රාවකයන් වහන්සේලා යළි එම වනයට වැඩම කොට කරණීය මෙත්ත සූත‍්‍රය සජ්ඣායනා කොට මෙත් සිත පතුරුවන්නට වූහ. ක‍්‍රමයෙන් දෙවිවරුන්ගේ අමනාපයන් බැහැර වූ අතර අවසන උන්වහන්සේලාට සීලාදී ගුණ ධර්මයන් සම්පූර්ණ කර ගැනීම උදෙසා දෙවිවරුන් උවටැන් කරන්නට ද පටන් ගත්හ. බුද්ධ භාෂිතයේ ගැබ් වූ සත්‍යයේ අනුහසින් ඒ සියල්ලෝ දමනය වූහ.

අසිරිමත් ය ඒ සත්‍යානුභාවය…

තථාගතයන් වහන්සේ වනාහි ලොවට පරිපූර්ණ වූ සත්‍යය, පරම වූ සත්‍යය හෙළි කළ සත්‍යවාදියාණන් වහන්සේ ය. සම්බුද්ධ දේශනාවන් තුළ ඇත්තේ ලොව කිසිවකට දෙවැනි නො වූ, අග‍්‍ර වූ සත්‍යය ම ය. අවිඳු අඳුර දුරු වී ප‍්‍රඥලෝකය පහළ වූයේ ඒ සත්‍යයේ ආනුභාවයෙනි.

බියක්, තැති ගැනීමක්, ලොමු ඩැහැ ගැනීමක් ඇති වූ කල්හි බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරන්නට යැයි කියා තථාගතයන් වහන්සේ වදාළේ එකල්හී සියලූ බිය ඒකාන්තයෙන් ම දුරු වී යන නිසාවෙනි. සනාතන, සදාතන සත්‍යය කැටි වූ බුද්ධ භාෂිතයන් සජ්ඣායනා කිරීමෙන්, පරිත‍්‍රාණ දේශනා පැවැත්වීමෙන් එදා පටන් අද දක්වා ම සිව්වනක් බුද්ධ ශ‍්‍රාවකයන් ඒ සත්‍යානුභාවයේ රැකවරණය සලසා ගනිති.

බුද්ධ ශාසනයේ ඉලක්කය වන්නේ සියලූ දුකින් නිදහස් වීම ය. ඉපදීම, ලෙඩ වීම, ජරාවට පත්වීම, මරණය, ප‍්‍රිය දෙයින් වෙන් වීම, අපි‍්‍රය දේ හා එක් වීම ඒකාන්ත දුක් ය. සංෂිප්තයෙන් කියන කල්හි පංච උපාදානස්කන්ධය ම දුකකි. ඒ සියලූ දුකින් නිදහස් වීමේ ඒකායන මාර්ගය ශ්‍රී සද්ධර්මයෙන් දේශිත ය.

ඒ ධර්මයෙන් සියලූ දුක් නැසිය හැකි බව අදහාගෙන, දරාගෙන සිටින්නෙකුට ධර්මය සිහි කළ පමණින්, ශ‍්‍රවණය කළ පමණින් ලෙඩ දුක්, බිය, තැති ගැනීම් සහමුලින් දුරු ව යෑම ඒකාන්තයෙන් ම සිදු වන්නකි. මන්ද ඒ තැනැත්තා සිහි කරන්නේ සියලූ දුක් නසාලන දහමක් වන බැවිනි. ඈත අතීතයේ පටන් ලෙඩ දුක්වල දීත්, බිය තැති ගැනීම්වල දීත්, සුබ කාර්යයන් ඇරඹීමේ දීත් පිරිත් සජ්ඣායනා කොට, පිරිත් පැන් වළඳූ, පිරිත් පැන් ඉස, පිරිත් නූල් බැඳ සෙතක්, ශාන්තියක් ලබා ගැනීම සිදු කෙරුණේ එනිසාවෙනි.

පිරිත් ස්වරයෙන් විහිදෙන ධර්මයේ අනුහස

පිරිත් සජ්ඣායනාවකින් සිදු කෙරෙන්නේ තථාගතයන් වහන්සේගේ දේශනාවන් හඬ නඟා පැවසීම ය. ඒ දේශනාවන් තුළ අන්තර්ගත වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවනේ අනන්ත අපරිමිත ගුණ සමුදාය ය, ධර්ම පර්යායන් තුළ කියැවුණු චතුරාර්ය සත්‍යය ධර්මය ය, සප්ත බොජ්ඣංග ධර්මයන් ය, නිවන් මඟ දියුණු කරන්නා වූ ශ‍්‍රාවකයන් භාවනාවන් ලෙසින් වැඩිය යුතු වූ සඤ්ඤාවන් ය…. පිරිත් සජ්ඣායනාවක් සිදු කිරීමෙන් මෙන් ම එය ශ‍්‍රවණය කිරීමෙන් ද මහත් වූ ආනිසංස උපදවා ගත හැක්කේ එකී අන්තර්ගතයේ පවත්නා වූ විස්මිත, ආශ්චර්යවත්, අද්භූත ගුණ ධර්මයන් නිසා ය. සත්‍යය ප‍්‍රකාශිත ඒ ධර්මය ඇසූ පමණින් සියලූ රෝග පීඩා, බිය තැති ගැනීම් සැණෙකින් පහව යන්නේ ද එනිසා ම ය.

ඒ සෑම වචනයක් පාසා ම කියැවෙන්නේ සර්වඥයන් වහන්සේගේ අවබෝධය යි. ඒ අවබෝධය අදහා ගැනීම ධර්මය තුළ හැඳින්වෙන්නේ ශ‍්‍රද්ධාව කියා ය. පිරිත් සජ්ඣායනාවකින් නිසි ඵල නෙළා ගන්නට උපකාරී වන්නේ ද මේ ශ‍්‍රද්ධාව ම ය.

බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ප‍්‍රකට වන ධර්මය සියලූ දුකින් නිදහස් වීම පිණිස ඒකායන මාර්ගය යි යන තියුණු විශ්වාසයෙන් යුතු වූ කවරෙකු හෝ වේවා පිරිත් සජ්ඣායනාවකින් අත්විඳින්නේ ද ඒ නිවන පිණිස උපකාරී වන්නා වූ සද්ධර්ම සංධ්වනිය යි.

සැබෑ බසින් මෙම සෙත සැලසේවා!

නිසැක ලෙස තිසරණයෙහි පිහිටා සිටින ශ‍්‍රාවකයෙකුට රෝග පීඩාවක් වැළඳුනු විට, බිය තැති ගැනීමක් ඇති වූ විට සැණෙන් සිහිවන්නේ ත‍්‍රිවිධ රත්නය යි. ඒ අන් කිසිවක් නිසා නොව ලෙඩ දුක්, බිය තැති ගැනීම්වලින් පමණක් නොව සියලූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් අත් මිදෙන්නට පිහිට වන්නේ තෙරුවන විෂයෙහි පවත්නා අචල ප‍්‍රසාදය බව ඔවුහු දරාගෙන සිටින නිසාවෙනි.

එවැන්නෙකු උපද්‍රවයක දී බෙහෙත් වට්ටෝරු මත පමණක් යැපෙන්නේ නැත, යන්තර මන්තර ගුරුකම් සරණ යන්නේ ද නැත, කේන්දරය හොයන්නේ ද නැත, කට්ටඩියන් සොයා දුවන්නේ ද නැත, බලි තොවිල් නටන්නේ ද නැත, ඒ වෙනුවට සම්බුදු මුව මඬලින් ගලා ආ චතුරාර්ය සත්‍යය ප‍්‍රකාශිත සම්බුද්ධ භාෂිතයන් සිහි කරන්නේ ය. ඒ මන්ද? ඒ කිසිවකටවත් සම කළ නො හැක්කා වූ සත්‍යානුභාවය පවත්නේ තථාගතයන් වහන්සේගේ අවබෝධය ප‍්‍රකාශිත ධර්මයේ පමණක් බව ඔවුන් දන්නා නිසා ය.

ඉතා හොඳින් සිත පිහිටුවාගෙන ඒ ධර්මය සජ්ඣායනා කරන්නේ නම්, ඒ ධර්මය ශ‍්‍රවණය කරන්නේ නම් පි‍්‍රයමනාප වූ කාම ගුණයන් කෙරෙහි සිත නො ඇලෙන්නේ ය, සිතෙහි තරහක් හට නො ගන්නේ ය, නිදිමතට පත් නො වන්නේ ය, සිත නො විසිරෙන්නේ ය, ඒ ආනුභාව සහිත පරම සත්‍යය ගැන සැකයක් ඇති නො වන්නේ ය. එනම්, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණයන් දුර්වල වන්නේ ය.

නීවරණයන් යටපත් වන විට, ප‍්‍රහාණය කෙරෙන විට සිතෙහි හට ගන්නේ නැවුම්, ප‍්‍රබෝධවත් ස්වභාවයකි, ප‍්‍රමුදිත බවකි. ඒ ප‍්‍රමුදිත සිතෙහි සත්‍යය ප‍්‍රකාශිත ධර්මය සජ්ඣායනයෙන් ද ශ‍්‍රවණයෙන් ද ප‍්‍රීතිය ජනිත වේ. මානසික ප‍්‍රීතිය කය සැහැල්ලූ කරවයි. එනම් පස්සද්ධිය ඇති වේ. එය සමාධියක් දක්වා දියුණු කරන්නට සමර්ථ වූ විට ධර්මාවබෝධය පිණිස සිත නැමී යයි. සියලූ දුක් ක්ෂය කරනා ධර්මයක් සජ්ඣායනා කිරීමේ ද ශ‍්‍රවණය කිරීමේ ද අග‍්‍ර ඵලය වන සියලූ දුකින් නිදහස් වීම සාක්ෂාත් කළ හැක්කේ ඒ ආකාරයෙනි. තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ දේශනා අවසානයේ ශ‍්‍රාවකයන් වහන්සේලා සියලූ දුක් නසා අරහත්වයට පත් වූයේ ඒ ආකාරයෙනි.

පිරිත් සජ්ඣායනාවක් යනු සැදී පැහැදී කළ යුත්තකි. උතුම් ධර්මාවබෝධය ඉලක්ක කරගෙන සිදු කළ යුත්තකි. ලොව නොයෙක් ඔසු තිබුණ ද සියලූ ලෙඩ සුව කරනා දහම් ඔසුව හා සම ඔසුවක් නැත්තේ ය. ඒ ඔසුව වළඳා කෙලෙස් ලෙඩ හැම සුව කරගෙන, දිරුම් වැනසුම් නැති පිරිනිවනට පත්වන්නට සම්බුදු ශ‍්‍රාවකයන් අදිටන් කරගත යුතු ය. පිරිත් සජ්ඣායනාවක් යනු ඒ වෙනුවෙන් මහඟු මංපෙත් විවර කරනා උතුම් සද්ධර්ම දායාදයකි.
සියල්ලෝ ම මෙලොව, පරලොව හිතසුව පිණිස පවතින, යහපත සලසන, නිර්වාණාවබෝධයට උපකාර වන පිරිත් ධර්මයන් මැනැවින් දෙසත්වා! මැනැවින් අසත්වා!

ඒ අසිරිමත් සම්බුදු දෙසුම් සියලූ දුක්බිය දුරලන්නේ ම ය…

ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා!!!

බොදු පිරිත, පිරිතේ විකාශනය සහ සමාජ සබැඳියාව
පැපිලියාන ශ්‍රී සුනේත‍්‍රාදේවී විහාරවාසී, අධිකරණ හා නීති ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, ප‍්‍රජා පාදක විශෝධන ඒකකයේ ශාස්ත‍්‍රපති 
පූජ්‍ය උඩුබද්දාවේ අස්සජි ස්වාමින් වහන්සේ

පිරිත් සජ්ඣායනාව හා සබැඳි ඉතිහාසය ප‍්‍රාග් බෞද්ධ යුගයට ම දිව යන්නකි. ජාතක කථා පාළියෙන් හෙළි වන පරිදි පිරිත් හා සබැඳි පිරිත් නූල් ආදිය ආරක්ෂාව පිණිස භාවිත කරනු ලැබ ඇත. බුද්ධ කාලීන ව සෙත් ශාන්තියක් ලෙස, මනා ව සංවිධානය කරන ලද පිරිත් දේශනාවක් පැවැත් වූ බව හෙළි වන්නේ විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ ය.

ලක්දිව පිරිත හා සම්බන්ධ පළමු සිදුවීම වාර්තා වන්නේ විජය කුමරු ඇතුළු ආර්යයන් මෙහි ගොඩබට අවස්ථාවේ ය. සම්බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මතු බුද්ධ ශාසනය පිහිටන ලක්දිවට ගොඩබට ඒ ආර්යයන් හට ආරක්ෂාව පිණිස සක් දෙවිඳුන් උපුල්වන් දෙවිඳුන් මෙහි එවූ බව වංශ කථාවල සඳහන් ය. තවුස් වෙස් ගෙන පැමිණි උපුල්වන් දෙවිඳු විජය කුමරු ඇතුළු පිරිසගේ අත්හි පිරිත් නූල් බැඳ, පිරිත් පැන් ඉස ආරක්ෂාව සලසා දී ඇත. එයින් පෙනී යන අනෙක් වැදගත් ම කරුණ නම් එලෙස මෙහි ආ පිරිස බෞද්ධයන් යන්න යි.

අනුරාධපුර ස්වර්ණමය රාජ්‍යය පාලන සමය වූ දුටුගැමුණු රජ සමයේ ස්වර්ණමාලි මහ සෑ රදුන්ගේ ධාතු නිදානෝත්සවයේ දී ‘ධම්ම සජ්ඣායනාවක්’ පැවැත් වූ බව ද කියැවේ. එකල පිරිත් යන වචනය භාවිත නො වූවා විය හැකි ය. නැති නම් මෙකල තරම් පිරිත් සජ්ඣායනය ජනප‍්‍රිය, සුලභ දෙයක් නො වන්නට ඇත.

කෙසේ වුවත් I වන උපතිස්ස (කි‍්‍ර. ව. 362 – 409) රාජ්‍යය සමයේ පැමිණි දුර්භික්ෂ හා රෝග බියක් සමනය කරනු වස් විශාලා මහ නුවර අන්දමට ම රතන සූත‍්‍රය සජ්ඣායනය කර ඇත. බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නමක් නිමවා, ඒ ප‍්‍රතිමාවේ දෑත් මත ශෛලමය පාත‍්‍රයක් තබා භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වීදි සංචාරය කරමින් පිරිත් පැන් ඉස තිබේ. ඉනික්බිති මහා වැසි ඇද හැළුණ බව මහාවංශයේ කියැවේ.

IV වන අග්බෝ (කි‍්‍ර. ව. 638 – 674) රාජ්‍ය සමයේ ද පිරිත් උත්සවයක් පැවැත්වූ බව සඳහන් ය. II වන සේන (ක‍්‍රි. ව. 851 – 885) රාජ්‍ය සමයේ ද දුර්භික්ෂයක් නිමාවට පත් කරනු පිණිස පිරිත් උත්සවයක් පැවැත්වූ බව මහාවංශ කතුවර මහානාම හිමියන් පෙන්වා දෙයි. බුද්ධ ප‍්‍රතිමාවක් වෙනුවට ආනන්ද තෙරුන් වහන්සේගේ ප‍්‍රතිමාවක් සහිත ව සිදු කළ ඒ පිරිත් උත්සවය I වන උපතිස්ස රාජ්‍ය සමයේ කළ පිරිත් උත්සවයට සමාන බව කියැවේ. ඒ රාජ්‍ය සමයේ දී ම රතන සුතුර රන්පත්හි ලියූ බව කියැවෙන අතර ඒ බව ඓතිහාසික තොරතුරුවලින් ද හෙළි වී ඇත.

ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් පිරිත් උත්සවයක් පවත්වා ඇත්තේ V වන කාශ්‍යප (ක‍්‍රි. ව. 913 – 923) රාජ්‍ය සමයේ දී ය. එහි අරමුණ වී ඇත්තේ රෝ බිය දුක් පලවා හැරීමයි.

ලක්දිව පිරිත පිළිබඳ සඳහනක් මිහින්තලා සෙල්ලිපියෙහි ද දැක්වේ. එය VI මිහිඳු රජු විසින් කරවන ලද්දකි. ඒ සමයේ භික්ෂූන් වහන්සේලා නිරන්තරයෙන් භාවිතයට ගත යුතු පිරිත් දේශනා කිහිපයක් පැවත ඇති අතර ඒ අතුරින් කරණීය මෙත්ත සූත‍්‍රයට සුවිශේෂී තත්ත්වයක් හිමි ව ඇත. මුල් කාලයට වඩා මෙකල පිරිත් ධර්මයන් ධර්මයේ හැසිරෙන පිරිසට බොහෝ සමීප ව තිබූ බව මෙයින් ගම්‍ය වෙයි.

වංශ කථා අනුව පෙනී යන්නේ පොළොන්නරු යුගය වන විට දියුණු චාරිත‍්‍ර විධි සහිත පිරිත් දේශනා සිදු කෙරුණු බව යි. සශී‍්‍රකවත් මහා පරාක‍්‍රමබාහු යුගයේ දී පිරිත් සජ්ඣායනාවන් වෙනුවෙන් ම පඤ්චසත්තක මන්දිර යනුවෙන් වෙන ම මණ්ඩපයක් තනවා ඇත. එහි දී පිරිත් පැන් ද පිරිත් නූල් ද බොදා දී ඇත. නිශ්ශංකමල්ල රජු කළ නිශ්ශංකලතා මණ්ඩපය ද පිරිත් සජ්ඣායනා පැවැත්වීම පිණිස කරවන ලද්දකි. පොළොන්නරු කතිකාවතට අනුව මහජන සහභාගීත්වය ඇතුව එකල නිතර පිරිත් සජ්ඣායනාවන් සිදු කෙරී ඇත.

දඹදෙණි කතිකාවතින් හෙළි කෙරෙන පරිද්දෙන් දඹදෙණි යුගයේ පිරිත ඉතා ජනප‍්‍රිය දේශනා ක‍්‍රමයක් ව පැවත ඇත. ඒ අනුව සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ දේශනාවන්ගේ සමාරම්භය දඹදෙණි යුගයේ සිදු වූ බව නිශ්චය කළ හැකි ය.

කුරුණෑගල යුගයට අයත් දළදා සිරිතේ දැක්වෙන අයුරට අභිනව රාජ්‍ය පාලකයකු රජ මාලිගයේ වාසය පිණිස පැමිණෙන විට මහා සංඝ රත්නය ලවා පිරිත් සජ්ඣායනා කරවාගෙන, පිරිත්පැන් ඉස්සවා ආරක්ෂාව ලබාගෙන ඇත. රාජ්‍යය පාලකයන් මෙසේ පිරිතේ සෙත් ශාන්තිය අපේක්ෂා කරන්නට ඇත්තේ ඒ වනවිට පිරිත බොහෝ දුරට ජනපි‍්‍රය පූජා චාරිත‍්‍රයක් බවට පත්ව තිබූ නිසා විය යුතු ය. දළදා චාරිත‍්‍රවල දී පවා එකල පිරිත් භාවිත කර ඇත.

කෝට්ටේ පැරකුම්බා සමයේ කළ පැපිලියානේ සෙල්ලිපියේ ද පිරිත් උත්සවයන් ගැන සඳහන් වී තිබේ.

පිරිතේ විකාශනය තුළ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු වී ඇත්තේ මහනුවර යුගයේ දී ය. මහායානික අදහස් ද දේව සංකල්ප ද ප‍්‍රබල ලෙස පිරිත් චාරිත‍්‍ර සමඟ බද්ධ වූයේ එකල ය. එම පිරිත් උත්සව හින්දු ශාන්ති කර්ම ආදියට බෙහෙවින් සමාන විය. බලි තොවිල්වල දී ගන්නා බුලත්, නා දලූ, කුස තණ, ආදිද්‍රව්‍යයන් පිරිතක දී භාවිතයට ගැනුනු අතර දෙවියන් යැදීම ද ශබ්ද පූජා පැවැත්වීම ද පිරිතකට අත්‍යවශ්‍ය සාධක සේ සැලකිණි.
වර්තමාන ලාංකික බෞද්ධ සමාජයට සෙත්පිරිත් ක‍්‍රමය අතිශයින් සමීප ය. වරු පිරිත්, සර්ව රාත‍්‍රික පිරිත් මෙන් ම සති පිරිත් ද මෙකල සිදු කෙරේ. ඒ සියල්ලන්ගේ අපේක්ෂාව වන්නේ විපත් දුරු කරවා, යහපත සලසා ගනිමින් තෙරුවනේ ආශීර්වාදය ලබා ගැනීමයි.

ලක්දිව ආර්ය ආගමනයේ පටන් මේ දක්වා ම අඩු වැඩි වශයෙන් පිරිත් හා ජන ජීවිත බද්ධ වී තිබුණු ආකාරය මෙයින් ගළපා ගත හැකි ය.

එදා පිරිත – සරණංකර සංඝරාජ සමයෙන්…
මහාචාර්ය පණ්ඩිත පූජ්‍ය කොටගම වාචිස්සර ස්වාමීන් වහන්සේ

පිරිත් පින්කම්
බුදුරජුන් විසින් දෙසන ලද ඇතැම් සූත‍්‍ර ඇතුළත් කොට සංග‍්‍රහ කරන ලද චතුභාණවාර පාළිය ආරක්ෂා දේශනයන් වශයෙන් භාවිත කරන්නට පටන්ගත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව ය. එයට පෙර බුදුරදුන් විසින් හෝ ඔබගේ සවුවන් විසින් හෝ ඇතැම් සූත‍්‍ර ධර්ම පිරිත් වශයෙන් දේශනා කරන ලදි. පිරිත මහජනයා අතර ජනප‍්‍රිය වන්නට පටන්ගත්තේ දඹදෙණි යුගයෙන් පසු ව ය. සර්වරාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනා ආදිය විධිමත් ලෙස ඇරඹුණේ මේ යුගයෙහි ය. එහෙත් මහනුවර යුගයේ පිරිත් පින්කම් පවත්වන ලද්දේ එයට වෙනස් අයුරෙනි.

මෙකල පිරිත් පින්කම්වල දී දෙවියන්ට මුල් තැනක් ලැබුණු බව පෙනේ. අදත් දක්නට ලැබෙන ගම්භාර දෙවියාට පහනක් තබා පිරිත් පින්කම් ඇරඹීමේ සිරිත මහනුවර යුගයේ සිට පැවත එන්නකි. වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජුට වැලඳුණු ඇස් රෝගයකට ප‍්‍රතිකර්ම වශයෙන් රත්නත‍්‍රයයේ සහ දෙවියන්ගේ ආරක්ෂාව සලසාගැනීම සඳහා මහනුවර පෝයමළු විහාරයේ දී සතිපිරිත් දේශනයක් පවත්වන ලදි. අදත් සතිපිරිත් දේශනාවක දී අවසානයේ කැරෙන සියලූ ම චාරිත‍්‍ර විධි දෙවියන් හා සම්බන්ධ කොට තිබෙන්නේ එදා කළ අයුරු ම ය. මඟුල් බෙර ගසා දෙවියනට ආරාධනය කිරීම පිරිතේ අවශ්‍ය අංගයක් ලෙස සලකන ලදි.

දොරකඩ අස්න

පරිත‍්‍රාණ ධර්ම දේශනයෙන් සිදු කරගත් පින් දෙවියනට අනුමෝදනා කිරීම සඳහා දේව දූතයකු අත පණිවිඩයක් යැවීමත් ඒ සඳහා පැමිණිය යුතු දෙවියන් සහ ඔවුන් වාසය කරන සියලූ ම විහාරස්ථානවල සහ දේවාස්ථානවල නම් ඇතුළත් විහාර අස්න නම් දේශනයක් පැවැත්වීමත් ඇරඹුණේ මෙකල ය. මහ පෙරහරින් අසල තිබෙන විහාරස්ථානයකට හෝ දේවස්ථානයකට හෝ යන දේව දූතයා ආපසු විත් තමා ගිය කාරිය ඉටු වූ බවත්, සියලූ දෙවියන් ම සහපිරිවරින් පින් ගැනීමට පැමිණි බවත්, මහ සඟන ඉදිරිපිට දී මණ්ඩපයේ දොරටුව ළඟ සිට පවසයි. දොරකඩ අස්න නමින් අදත් ව්‍යවහාර කරනු ලබන්නේ මෙයයි.

අනුශාසනා අස්න

එයට පසු ව්‍යක්ත භික්ෂුවක විසින් එහි පැමිණියා යැයි සලකනු ලබන දෙවියනට පින් දීම සඳහා අනුශාසනා අස්න නම් දේශනයක් පවත්වනු ලැබේ. මහනුවර යුගයේ රචිත මේ දොරකඩ අස්න හා අනුශාසනා අස්න මෙන් ම විහාර අස්න ද යන රචනාත‍්‍රය ම වෘත්තගන්ධි ශෛලියෙන් යුක්ත ය.

මේ දොරකඩ අස්නෙහි සහ අනුශාසනා අස්නෙහි දකුණු ඉන්දියා දෙවිවරුන්ගේ සහ ඕලන්ද, පරංගි ආදි අපරදිග රටවල දෙවිවරුන්ගේ ද ආරක්ෂාව අයැද තිබෙන බව පෙනේ. ඔඩ්ඩි, වඩිග ආදි වශයෙන් දැක්වෙන දකුණු ඉන්දියා දෙවිවරුන් බෞද්ධයන් නො වූ නමුත් ඔවුන්ට ද පින් දීමට අදහස් කොට ඇත්තේ ඔවුන් කෙරෙහි පැවති දැඩි භක්තිය නිසා ය. මෙහි දී සැලකිය යුතු කාරණයන් වශයෙන් සඳහන් කරන්නට ඇත්තේ මහනුවර යුගයේ බලසම්පන්න දෙවියෙකු වශයෙන් අදහනු ලැබූ පත්තිනි අනුශාසනා අස්නෙහි හෝ දොරකඩ අස්නෙහි හෝ අමතක කොට හැරීම ය. මෙය අමතක කිරීමක් ම නො වේ. පත්තිනි සහ පනම් යන දෙවිවරුන් දෙදෙන ම පිරිත් පින්කම්වලට අකැමති බව එකල භික්ෂූන්ගේ අදහස විය. මැදගොඩ පත්තිනි දෙවොල අසල පිරිත් පින්කමට යෑමට භික්ෂූන් අසතුටු වූයේ එහි පත්තිනි මෑණියන්ගේ බලය ඇතැයි සැලකූ හෙයිනි. එසේ ම සොළී කුමාර දෙවි බින්තැන්නේ පිරිත් කියූ සැටනමක් මැදට හරක් ඇටයක් දමා ඒ භික්ෂූන්ගේ ඔළු එකට ගටා මරා ලේ බී බවක් පැවසෙන හෙයින් බින්තැන්නේ පිරිත් කීමට භික්ෂූහු මැළි වූහ. මේ සොළී කුමාර, එළාරගේ පුත‍්‍ර කුමාරයා වසු පැටියා මැරීමේ වරදින් පිය රජු විසින් මරන ලදු ව යකකු ව උපන් බව සැලකෙතත් ඔහු පිළිබඳ ව විස්තරය අනුව පෙනෙන්නේ ඔහු ද මුලින් සඳහන් පනම් දෙවි ම බව ය. පනම් දෙවියා ද භික්ෂූන් සැටනමක් මැරූ බව කියැවිණි.

අදත් බින්තැන්නේ සහ තමන්කඩුවේ පිරිත් කීමට භික්ෂූන් මැළි වන්නේ මොහුට ඇති බිය නිසා ය. එබඳු තැන ඔවුන් අනුශාසනා අස්නෙහි කෙසේ සඳහන් කළ හැකි ද? මෙහි දී අනුශාසනා අස්න රචනය කළ තැනැත්තා කළ බලවත් වැරුද්දක් නම් දකුණු ඉන්දියාවේ රටවලින් පැමිණි අමනුෂ්‍යයන් බෞද්ධ දෙවියන් වශයෙන් සැලකීම යි.

ආටානාටිය

අනුශාසනා අස්නෙන් පසු ප‍්‍රකාශ වන්නේ ආටානාටිය සූත‍්‍ර දේශනාව ය. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසට අමනුෂ්‍යයන් ගෙන් වන උපද්‍රව වළක්වාගැනීම සඳහා සතරවරම් දෙවියන් වෙනුවෙන් වෛශ‍්‍රවණයා බුදුරදුන් හට පැවසූයේ යැයි කියන මේ සූත‍්‍රය ඇසීමට මිනිසුන් ප‍්‍රිය කරන්නේ මෙහි යකුන් එළවීමේ බලයක් ඇත යන විශ්වාසය නිසා ය. එකල භික්ෂූන් ද මෙය දේශනා කෙළේ මහත් බියකින් සහ ගෞරවයකිනි. සමහර යකුන් මේ දේශනාව පැවැත්වීමට කලින් දේවාලයපත‍්‍ර පෙරහැර විහාරස්ථානයට ළඟා වන විට බණමඩුව ගිනි ලා විනාශ කළ බවක් ප‍්‍රසිද්ධ හෙයින් තවමත් ශ‍්‍රී ලංකාවේ ඇතැම් පළාත්වල දේවාලයපත‍්‍ර පෙරහර ආපසු විහාරයට එන විට දෙවියන්ගේ නාමගෝත‍්‍ර ඇතුළත් මහාසමය සූත‍්‍රය දෙසනු ලැබේ.

පිරිත් පින්කම්වලට ඇතැම් දෙවියන් සහ යකුන් අමනාප වන බව ප‍්‍රසිද්ධ කොට ඇත්තේ කපුවන් සහ යක්දෙස්සන් යැයි පැහැදිලි ව ම පෙනේ. පිරිත් පින්කම් සඳහා දහස් ගණන් සෙනඟ ඇදෙන කල කපුවනටත් යකැදුරන් හටත් අවාසි ගෙන දේ. එසේ ම රතන සූත‍්‍රය ආදි සූත‍්‍ර ජීවම් කොට ආරක්ෂාව සලසාගැනීමෙන් තමන්ගේ ජීවන ක‍්‍රමයට පහර වැදෙතැයි සැලකූ දේවභක්තිකයන් එයට ද විරුද්ධ ව ප‍්‍රලාප දෙඩවූ බව පහත සඳහන් කවියෙන් හෙළි වේ:

‘‘සැටක් කප්පවා සීරි බුදින් නේ
සඟ සැට නමකුත් එකතැන් වෙන් නේ
එතැන පටන් ලක්සය පුරවන් නේ
ගොන් ගාතේ ඒ මැදට දමන් නේ”

පනම් දෙවියා විසින් කරන ලදැයි කියනු ලබන මේ ක‍්‍රියාව නිසා අදත් භික්ෂූහු රතන සූත‍්‍රය ලක්ෂයක් වර ජප කිරීමට අකැමැති වෙති. එය සම්පූර්ණ කිරීමට නො හැකි ය යනු ඔවුන්ගේ අදහස යි. ලංකාවේ අදත් පැවැත්වෙන මේ පිරිත් පින්කම් ක‍්‍රමය මුළුමනින් ම වාගේ හින්දු හා මහායාන ක‍්‍රමවලින් පිරී තිබේ.

-සසිදු මිහිරාන් සේනානායක- 

11 comments:

පිරිතේ අසිරිය..

පිරිතේ අසිරිය..  පිප්ඵලී ගුහාව අවට නිහඬ ය… නිසසල ය… මුනිවරුන්ගේ සමවතින් වන අරණ ද දැහැන්ගත වී ඇති සෙයකි. කෙලෙස් කහටින් මිදී ගත් සිත් ඇති වුව ...